පාප් වහන්සේගේ ශ්වසන පද්ධතියේ බහු ක්ෂුද්‍ර ජීවි ආසාදනයක්!
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ "සංකීර්ණ සායනික තත්ත්වයක්" සඳහා ප්‍රතිකාර ලබන අතර ඒ සඳහා අවශ්‍ය තරම් කාලයක් රෝහලේ රැඳී සිටිනු ඇතැයි වතිකානය නිවේදනය කරයි.
88 හැවිරිදි ශුද්ධෝත්තම පියතුමන් බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා සිකුරාදා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණු අතර සඳුදා, වතිකානය සඳහන් කළේ, පාප් වහන්සේගේ ශ්වසන පද්ධතියේ "බහු ක්ෂුද්‍ර ජීවී ආසාදනයක්" ඇති බවත්, උන් වහන්සේට ලබා දෙන ප්‍රතිකාරවල වෙනසක් අවශ්‍ය වී ඇති බවත් ය.
පසුව, තවදුරටත් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යාවත්කාලීන කරමින් වතිකානය සඳහන් කළේ, පාප් වහන්සේ නියමිත ප්‍රතිකාර ලබන බවත් ස්ථාවර තත්ත්වයේ සිටින උන්වහන්සේට උණ රෝග තත්ත්වයක් නොමැති බවත් ය.
ශූද්ධෝත්තම පියතුමන් සඳුදා රෝහලේ සිටියදී පොත් කියවීම් ද කර තිබුණූ බව වාර්තා වේ.
පසුගිය පැය කිහිපය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලැබුණු සෙනෙහස සහ සමීපත්වයේ පණිවිඩවලට උන්වහන්සේගේ කෘතඥතාව මෙසේ නිවේදනය කර තිබුණු බව ද වාර්තා වේ.
මේ අවස්ථාවේ රෝහල්ගතව සිටින, චිත්‍ර ඇඳීමෙන් සහ සුබ පැතුම් පණිවිඩ මඟින් දක්වා ඇති සෙනෙහස සහ ආදරය වෙනුවෙන් ඒ අයට, විශේෂයෙන් ස්තුති කිරීමට ශුද්ධෝත්තම පියතුමන්ට අවශ්‍ය යි, උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන අතර උන්වහන්සේ වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ද ඉල්ලා සිටියා.
පසුගිය සතියේ රෝහල්ගත කිරීමට පෙර, පාප් වහන්සේ දින කිහිපයක් බ්‍රොන්කයිටිස් රෝග ලක්ෂණවලින් පෙළුණු අතර, උත්සවවලදී සූදානම් කළ දේශන කියවීමේ වගකීම නිලධාරීන්ට පවරා තිබුණි. වතිකානයේ ප්‍රකාශක මැටියෝ බෲනි ද සඳුදා වාර්තාකරුවන්ට පැවසුවේ, පාප් වහන්සේ ප්‍රීතිමත් මනෝභාවයකින් පසුවන බව ය.
සාමාන්‍යයෙන් සෑම බදාදා දිනක ම පැවැත්වෙන පාප් වහන්සේගේ සතිපතා පැවැත්වෙන දේව මෙහෙය මෙම සතිය තුළ අවලංගු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
සති අන්තයේ වතිකානය පැවසුවේ, පාප් වහන්සේගේ තත්ත්වය යහපත් බවත්, සුවය ලැබීමට පහසුවක් ලෙස "සම්පූර්ණ විවේකයක්" ලබා ගන්නා ලෙස උන්වහන්සේට දැනුම් දුන් බවත් ය.
සිකුරාදා සහ සෙනසුරාදා ඔහු ගේබ්‍රියෙල් රොමනෙලි පියතුමාගේ නායකත්වයෙන් ගාසාහි ශුද්ධ වූ පවුලේ දේවස්ථානයේ වීඩියෝ දේව මෙහෙයක් පැවැත්වීය.
අපිට උන් වහන්සේගේ කටහඬ ඇහුණා. ඒක ඇත්ත, පියතුමන්ට මහන්සි වැඩි යි. උන්වහන්සේ ම කිව්වා, මම මගේ ගැන බලාගන්න ඕනේ කියලා. නමුත් කටහඬ පැහැදිලිව ඇහෙනවා, ඔහු අපට හොඳින් ඇහුම්කන් දුන්නා.
යනුවෙන් රොමනෙලි පියතුමා වතිකාන පුවත් සේවයට පැවසීය.
රොමනෙලි පියතුමා පසුගිය ඉරිදා පැවසුවේ, පල්ලියෙන් යවන ලද සුබ පැතුම් සඳහා ස්තූති කරමින් පාප් වහන්සේගෙන් තමාට කෙටි පණිවිඩයක් ලැබුණු බව ය.
ශාන්ත පීතර චතුරශ්‍රයේ ඉරිදා සිය නිත්‍ය සතිපතා යාඥා මෙහෙය පැවැත්වීමට හෝ කතෝලික පල්ලියේ ජුබිලි වර්ෂය නිමිත්තෙන් කලාකරුවන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙය පැවැත්වීමට පාප් වහන්සේට නොහැකි විය.
විවේකය සහ සුවය ලැබීමේ උත්සහයක් ලෙස ශුද්ධෝත්තම පියතුමන් පසුගිය සතියේ වතිකානයේ පිහිටි සිය නිවසේ රැස්වීම් ද පවත්වා තිබේ.
ශාන්ත පීතර බැසිලිකාව පිටතට රැස්වූ ජනතාව පාප් වහන්සේට සුබ පැතුම් එක් කළහ.
රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස කටයුතු කරන වසර 12 තුළ පාප් වහන්සේ කිහිප වරක් ම රෝහල්ගත කෙරුණු අතර අතර වයස අවුරුදු 21දී පෙනහලුවලින් කොටසක් ඉවත් කිරීම ඇතුළුව උන්වහන්සේගේ ජීවිත කාලය පුරා ම සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී තිබේ.
2023 මාර්තු මාසයේදී උන්වහන්සේ බ්‍රොන්කයිටිස් රෝගී තත්ත්වය හේතුවෙන් රාත්‍රී තුනක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර එම වසරේ ජූනි මාසයේදී පැය තුනක හර්නියා සැත්කමකට ද භාජනය විය.
තවත් අසනීප තත්ත්වයක් හේතුවෙන් 2023 දී උන්වහන්සේට COP28 දේශගුණික සමුළුව සඳහා සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යාම අවලංගු කිරීමට සිදුවිය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශුද්ධෝත්තම පියතුමන් ශාන්ත පීතර බැසිලිකාවේ නව කතෝලික කාදිනල්වරුන් 21 දෙනෙකු ස්නාපනය කිරීමේ උත්සවයකට නායකත්වය දුන් විට ඔහුගේ නිකටේ විශාල තැලීමක් ඇතිව පෙනී සිටි අතර එය සුළු වැටීමක ප්‍රතිඵලයක් බව වතිකානුව ප්‍රකාශ කළේ ය.
වඩාත් මෑතකදී, එනම් ජනවාරි මාසයේදී පියතුමන් බිම ඇද වැටී දකුණු අත තුවාල වූ අතර පූර්වාරක්ෂක පියවරක් ලෙස උන්වහන්සේ අත් ආධාරකයක් පැළඳ සිටියේ ය.
