බයික් පදින තරුණයින්ට පොලිසියෙන් රතු නිවේදනයක්- පොසොන් සමයේදී සෙල්ලම් දැම්මොත් බයික් එකත් ඉවරයි
පොසොන් උත්සව සමයේදී මහජනතාවට බාධා ඇති කරන ආකාරයෙන් කණ්ඩායම් වශයෙන් ගමන් කරන සහ අධික ශබ්දයක් නිකුත් කරන නවීකරණය කරන ලද යතුරුපැදි භාවිත කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය අනතුරු අඟවා තිබේ.
රථවාහන හා මාර්ග ආරක්ෂණ අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, නීතිවිරෝධී ලෙස නවීකරණය කරන ලද සයිලන්සර් සහ පිටාර පද්ධති සවිකර ඇති යතුරුපැදි හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි.
එවැනි යතුරුපැදි භාවිත කරන රියදුරන් මෝටර් රථ ප්‍රවාහන නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා බවද ඔහු අවධාරණය කළේය. නීතිවිරෝධී වාහන නවීකරණවලින් වැළකී සිටින ලෙස තරුණයින්ගෙන් ඉල්ලීමක් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, එවැනි වෙනස්කම් සිදුකරන පුද්ගලයින් සහ ගරාජ් හිමියන් සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව සඳහන් කළේය.
වෙසක් සමයේදී ඇතැම් යතුරුපැදිකරුවන් කණ්ඩායම් වශයෙන් ගමන් කරමින් මාර්ග නීති උල්ලංඝනය කර මහජනතාවට අපහසුතා ඇති කළ බවට වාර්තා වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
පොසොන් සමයේදී මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහා රටපුරා දැඩි නීති ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා වැඩිදුරටත් පැවසීය.