25 දෙනෙකුගේ දේපළ ගැන පුළුල් විමර්ශන - ශ්‍රී ලංකා පොලිසියෙන් පරීක්ෂණ ආරම්භයි
විදේශයන්හි සැඟවී සිටින හෝ නැවත මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 25 දෙනෙකුගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.
නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් මෙය මෙහෙයවනු ලැබේ. මෑතකදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ට අයත් දේපළ පිළිබඳ විමර්ශන මෙයට ඇතුළත් බව පොලිසිය සඳහන් කළේය.
ඔහුගේ පුතාගේ නමින් මිලදී ගත් දේපළ කිහිපයකට එරෙහිව මෑතකදී තහනම් නියෝග ලබා ගත් බව ද ඔවුහු සඳහන් කළහ.
මීට අමතරව, කොස්ගොඩ සුජි, රත්ගම විදුර, රත්මලානේ සයිමා සහ කන්ජිපානි ඉම්රාන් වැනි අපරාධකරුවන්ට අයත් දේශීය දේපළ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සිදුවෙමින් පවතී.
නීති විරෝධී ක්‍රම මගින් අත්පත් කරගත් එවැනි සියලු දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත්, අවශ්‍ය පියවර ගන්නා බවත් පොලිසිය පැවසීය.