පිලිපීනයේ මගී බෝට්ටුවක හදිසි ගින්නක - මියගිය සංඛ්‍යාව 35 දක්වා ඉහළට

By Kanchana Sep 12, 2026 04:46 AM GMT
Report

පිලිපීන වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ, ගින්නට හසුවූ MV ජුනි ඇස්ටරියා නෞකාවේ සුන්බුන් අතරින් තවත් මළ සිරුරු 30ක් සොයාගෙන ඇති බවයි.

මැනිලාවෙන් කොරොන් බලා පිටත්ව ගිය නෞකාවේ පුද්ගලයින් 130කට වැඩි පිරිසක් සිට ඇති අතර, ගමනාන්තයට ළඟා වෙමින් සිටියදී එහි ගින්න හටගෙන තිබේ.

එහි මගීන් 117 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු සිටි බව සඳහන් වේ. ගින්නෙන් පසු පුද්ගලයින් 43 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඉන් බොහෝ දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

තවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. විෂ සහිත දුම සහ නෞකාවේ පැවති දැඩි උණුසුම හේතුවෙන් සිකුරාදා වනතෙක් එහි අභ්‍යන්තරයට ඇතුළුවීමට නොහැකි වූ බව වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේය.

වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක කොමදෝරු නොමි කයාබියාබ් පැවසුවේ, පැය 22ක ගමනක් සඳහා නෞකාවේ නිදාගැනීමේ ප්‍රදේශයේ සිටි පුද්ගලයින් අතරින් බොහෝ මළ සිරුරු සොයාගත් බවයි.

මූලික විමර්ශනවලදී දිවි ගලවා ගත් පුද්ගලයින්ගෙන් ලබාගත් තොරතුරු අනුව ගින්න නෞකාවේ භාණ්ඩ ගබඩා ප්‍රදේශයෙන් ආරම්භ වී ඇති බවට සැක කෙරේ. ඇතැම් මගීන් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිටි බවද බලධාරීන් සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පිලිපීන සමුද්‍රීය අධිකාරිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී. 2002 වසරේ ඉදිකරන ලද මෙම නෞකාවට වලංගු ආරක්ෂක සහතික තිබූ අතර, පසුගිය මාර්තු මාසයේදී එය පරීක්ෂණයකටද ලක්ව තිබූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, නෞකාවේ භාණ්ඩ පැටවීමේ ක්‍රියාවලිය සහ කාර්ය මණ්ඩලයේ හදිසි අවස්ථා ප්‍රතිචාර ක්‍රියාමාර්ග ඇතුළු කරුණු සම්බන්ධයෙන් විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබේ.