Channel 4 චෝදනා විමර්ශනය කරන්න විශේෂ පාර්ලිම්න්තු කාරක සභාවක් කැඳවන ලෙස ඉල්ලයි.

Report

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය Channel 4 නාලිකාව එල්ල කරන චෝදනාවන් විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්න යැයි යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා.

මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති අතර, පාර්ලිමේන්තුවේදී හෙට (17) සම්මත කිරීමට නියමිතය.

එම මන්ත්‍රීවරු මෙම යෝජනාවෙන් කියා සිටින්නේ ඇතැම් දේශපාලඥයන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි අංශ නිලධාරීන් එම ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත්වූ බවටත් , එම ප්‍රහාරය පසුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බවටත් එම වැඩසටහනින් චෝදනා එල්ල කර ඇති බවයි.

එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ කාරක සභාවේ වාර්තාව මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටයි.

මෙම යෝජනාවට වජිර අබේවර්ධන , සංජීව එදිරිමාන්න, ඩී.වීරසිංහ , මේජර් ප්‍රදීප් උදුගොඩ , ගුණතිලක රාජපක්ෂ , සුමිත් උඩුකුඹුර, ජයන්ත කැටගොඩ , ජගත් සමරවික්‍රම, කරුණාදාස කොඩිතුවක්කු නීතිඥ මධුර විතානගේ , සමන්ප්‍රිය හෙරත්, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, ඩී.බී හේරත්, කෝකිලා හර්ශනි , උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, උදයකාන්ත ගුණතිලක, එච්නන්දසේන, නාලක කෝට්ටෙගොඩ, කුමාරසිරි රත්නායක , සහ සී බී රත්නායක යන මන්ත්‍රීවරු අත්සන් කර තිබෙනවා.