පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි - අද විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවකුත් [VIDEO]
අද (03) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය ආරම්භ වී ඇත.
අද දිනයේ පාර්ලිමේන්තුවේදී 1983 වසරේ සිදුවූ කළු ජූලි ඛේදවාචකය සහ එහි බලපෑම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
එම සිදුවීමෙන් පසු ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම ද මෙම කාරක සභාවේ අරමුණ වී තිබේ.
මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ විවාදය ද අද පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත්, කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැනීම සිදු නොවන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
එම යෝජනාවේ අන්තර්ගත ඇතැම් කරුණු පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙස දැනුම්දී තිබුණ ද, එලෙස සංශෝධිත යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවද වාර්තා වේ.
ඒ අනුව, පෙර තීරණය කර තිබූ පරිදි අදාළ විශ්වාසභංග යෝජනාව අද දින විවාදයට නොගැනීමට තීරණය කර තිබේ.
පර්ලිමේන්තු සජීවි විකාශය පහතින් නරඹන්න.