තවත් පැනඩෝරා පත‍්‍රිකා තොගයක් එයි.. ලාංකිකයන්ගේ නම් 65ක්..?

Gotabhaya Rajapaksha pandora papers Nirupama Rajapaksha Thiru Kumar nadeshan
By Sewvandhi Oct 06, 2021 05:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පැනඩෝරා පත‍්‍රිකා මගින් සැඟවුණු ධනය ඇති පුද්ගලයන් තවත් හෙළි වීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් හැට පස් දෙනකුගේ පමණ නම් එළිදරව් වීමට නියමිත බවද මන්ත්‍රීවරයා පවසයි.

දැනට හෙළිදරව් වී ඇති පත්‍රිකාවල නිශ්චිත කාලසීමාවක් නම් කර නැති බවද කී ඔහු කිසියම් හෝ ව්‍යාපාරිකයකු මුදල් කොහේ හෝ තැන්පත් කළ පසු රටේ ජනාධිපති ඊට වගකිය යුත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළාය.

එම විමර්ශන ආරම්භ කර ඇත්තේ පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද නියෝග කිරීමෙන් අනතුරුව ය.

අද සිට මසක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පැන්ඩෝරා අනාවරණය ගැන ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් අවශ්‍ය බවය.

ලොව පුරා සිටින රාජ්‍ය නායකයින්,දේශපාලනඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් හෙළි නොකර පවත්වාගෙන ගිය මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව්වක් "ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය" පසුගිය දා සිදුකළේය. ලොව පුරා කැලඹීමක් ඇති කළ එය හැඳින්වුයේ පැන්ඩෝරා පත්‍රිකා ලෙසය. එම අනාවරණය ශ්‍රී ලංකාව තුළත් ආන්දෝලනයක් ඇති කළේ මෙරට හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතාගේ නම් ද එහි සඳහන්ව තිබීමෙනි.

ඔවුන් "අක් වෙරළ සමාගමක්" හරහා සිදු කළ ආයෝජන මගින් ලන්ඩනයේ හා සිඩ්නි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාස මිලට ගෙන ඇති බව එම පත්‍රිකාවල සඳහන් විය. 2011 වසරේ ඔහු සතු මුළු ධනය අමෙරිකානු ඩොලර් මිලියන 160ක් බවත් එහි දැක්වුණි. පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද නියෝග කළේ එවන් පසුබිමකය.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවලින් චෝදනා එල්ලවූ ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතා ද අද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි. ඒ තමාගේ සහ තම බිරිඳගේ නම් මෙම පත්‍රිකාවල සඳහන් වීම පිළිබඳ සොයාබැලීම සඳහා ස්වාධීන හා කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමිනි.

ඔහු සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ඊට විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු පත්කිරීම වඩාත් සුදුසු බවය. මෙම චෝදනා නිසා තමා සහ බිරිඳ දැඩි සිත් තැවුලටත්, මානසික වේදනාවකටත් පත්ව ඇති බව ඔහු සිය ලිපියෙහි සඳහන් කර තිබේ.

මේ අතර හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණිලි දෙකක් ඉදිරිපත් කෙරුණි. ඒ නීතීඥවරු සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha