පානදුර පුද්ගල ඝාතනය ගැන තවත් තොරතුරක්..
පානදුර පිංවත්ත සහ අම්බලන්ගොඩ කුලිගොඩ යන ප්‍රදේශවලදී අද පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වෙඩිතැබීම් සිදුකළ පුද්ගලයන් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
පානදුර පිංවත්ත ප්‍රදේශයේ අද පෙරවරු 8.20 ට පමණ මෙම එක් වෙඩිතැබීමක් සිදුවී තිබුණු අතර වෙඩි පහරින් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබුණේ 57 හැවිරිදි අනුරාධ සම්පත් නම් කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි මත්පැන් අලෙවිසැළක හිමිකරුවෙක්.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවකු විසින් ඔහුට වෙඩිතබා ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී තිබෙන අතර ඔහු පිංවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පැවැති නව නිවසට යමින් සිටියදී මෙම වෙඩි පහරට ලක්වී ඇති බව පොලීසිය සඳහන් කළා.
අදාළ නිවස ඔහුගේ අනියම් බිරිඳකගේ නමින් ඉදිකෙරෙන බවත් ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවටත් පොලීසිය සැකකළා. මේ අතර වෙඩික්කරු බවට සැකකරෙන පුද්ගලයා පානදුර, වේරගම පාරේ පාළු ස්ථානයක ඔහු පැමිණි යතුරුපැදියේ අංක තහඩු මාරුකරන අයුරු ප්‍රදේශවාසියෙකු රූපගත කර තිබුණා
පසුව ප්‍රදේශවාසියා ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ඒ අතරතුර යතුරුපැදියේ අංක තහඩු විසිකර දමා සැකකාර පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා. අනතුරුව අදාළ යතුරුපැදියට සමාන යතුරුපැදියක් පානදුර, පිංවත්ත, සයිප්‍රස් මාවත ප්‍රදේශයේ තිබියදී පොලීසිය සොයාගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි . මේ අතර අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේදී අද පෙරවරුවේ තවත් වෙඩිතැබීමක් සිදුකර පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා
එම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 41 හැවිරිදි මාදම්පාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තම බිරිඳව සේවා ස්ථානය වෙත බස්සවා නැවත පැමිණෙමින් සිටියදීයි ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් පිරිසක් පසුගියදා ඇති කරගත් ඉඩම් ආරවුලකදී සිදුකළ පහරදීමක් අතරතුර පුද්ගලයෙක් මියගොස් තිබුණු අතර ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇතැයි සැක කරන බව පොලීසිය සඳහන් කළා.