විශේෂ දළදා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු ආරම්භ කරයි

Kandy Buddhism
By Gagana News Mar 07, 2025 12:57 AM GMT
Gagana News

Gagana News

Report

එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීමට අවම වශයෙන් ලක්ෂ 20ක පමණ බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ බව අනාවරණය කෙරුණේ විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතාගේ ප්‍රදානත්වයෙන් අද (06) පැවැති සාකච්ඡාවකදීය.

එහි සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන දින 10 තුළ තත්පරයකට බැතිමතුන් තිදෙනා බැගින් දළදා වහන්සේ වන්දනා කිරීමට හැකි බවට අනුමාන කළත් එම කාලය තුළ දළදා මාළිගය තුළට ඇතුළුවීමට හැකියාව ඇත්තේ ලක්ෂ 06ක පමණ පිරිසකට බවද මෙහිදී අනාවරණය කෙරුණි.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන හැකි තරම් විශාල පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවද මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතා කීය.

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දී මහනුවර නගරයේ පාසල් වසා තැබෙන බවත් ඒ වෙනුවට වෙනත් දිනවලදී පාසල් පැවැත්වීමට කටයුතු කරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතා තවදුරටත් පැවසීය.

දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම, නගරය ආලෝක කිරීම, යටිතල පහසුකම් සුපරාලීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. බැතිමතුන් සඳහා දන්සල් ලබාදීම සිදුකළ හැක්කේ නගර සභාවේ ලියාපදිංචි වීමෙන් පමණක් බව මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල යන නාහිමිවරු ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය. 

නැවතත් කරළියට එන නුවරඑළිය තැපැල් ස්ථානය

නැවතත් කරළියට එන නුවරඑළිය තැපැල් ස්ථානය

ගාලුපාරේ ලොරියක් ගිලා බහියි

ගාලුපාරේ ලොරියක් ගිලා බහියි

ReeCha