ඔමික්‍රෝන් ලංකාවේ තියෙනවා ද? නැද්ද ? - සෞඛ්‍ය අංශවලින් පිළිතුරක්

sri lanka omicron
By Sewvandhi Nov 29, 2021 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ශ්‍රී ලංකාව සූදානම් වියයුතු ආකාරය සම්බන්ධයෙන් අද (29) පැවැති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණි. එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, "දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදය ලංකාවේ තියෙනවා ද ?

නැද්ද ? කියලා සහතිකයක් දෙන්න පුළුවන්ද ?" ඊට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, "මට වචනයක් කියන්න බෑ ඒ ගැන. මොකද තවම අපේ රටේ පසුගිය කාලසීමාව තුළ නොකඩවාම පරීක්ෂණ කරගෙන යනවා. ඒ එකකින් හමුවන තෙක් අපිට සහතික කරලා කියන්න පුළුවන්කමක් නෑ." වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා,

"අපිට මේ ඇවිත් තියෙන්නේ එලාම් සිග්නල් එකක්. එවැනි අලුත් ප්‍රභේදවලට මුහුණදීමට අපිට තිබෙන ප්‍රධානතම අවිය තමයි එන්නත්කරණය. අපේ රට එන්නත්කරණය අතින් ඉතාම හොඳ මට්ටමක පවතිනවා.

මේ වගේ අලුත් ප්‍රභේද ඇති වන්නේ එන්නත්කරණය හොඳින් සිදු කරගන්න බැරි වුණ රටවලින්. ලෝක සෞඛ්‍ය සංවිධානය එකයි හැම තිස්සේම කිව්වේ 'සියලුදෙනා ආරක්ෂා වෙන තුරු කිසි කෙනෙක් ආරක්ෂිත නෑ' කියලා. එන්නත්කරණය හොඳින් සිද්ධ නොවුණු තැන් තියෙනවා නම් ලෝකය පුරා, මේ වගේ ප්‍රභේද බිහි වෙන්න පුලුවන්."