ඉන්ධන, ගෑස් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා කරයි
ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළු ඉන්ධන සැපයීම හා බෙදාහැරීම ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතාගේ අත්සනින් නිකුත් වූ අතර, අත්‍යාවශ්‍ය පොදු සේවා පනත අංක 61/1979 හි වගන්ති 2 යටතේ බලතල භාවිතා කරමින් මෙය සිදු කර ඇත.
විදුලි බලය සැපයීම සම්බන්ධව සියලු සේවාවන්,රෝහල් වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය,මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා,මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළවල්, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව, සංචාරක සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වා ගෙන යාම, ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවාවන්, ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධ සියලු සේවාවන්,සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි සංවර්ධන කාලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර, ප්‍රජා සවි බල ගැන්වීමේ නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා කේන්ද්‍රිය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නා වූ හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය, ගිලන් රථ සේවාවන්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු, ජලය සැපයීම විදුලි බලය, ජලාපවහනය සහ කසළ කාණු ක්‍රමය, ගිනි නිවීමේ හා ගිලන් රථ සේවය,කසළ ශෝධනය සහ කුණු ඉවත් කිරීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් මගින් කරගෙන යනු ලබන යම් කාරණයක් සහ පළාත් පාලන ආයතන මගින් සිදුකරන සියලුම සේවාවන්,වාරිමාර්ග සම්බන්ධ සියලු සේවාවන්,දුරකතන විදුලි සංදේශ සහ මාධ්‍ය සම්බන්ධ සියලු සේවාවන්, පහත් බිම් ගොඩකිරීම සහ සංවර්ධනය කිරීම සම්බන්ධ සියලු සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.