විවාහයක් ලියාපදිංචි කිරීම ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

covid19 ajith rohana quarantine marriage registration
By Sewvandhi Aug 16, 2021 02:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරෝධායන නියෝග රැසක් අද (16) දිනයේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව ඇති බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

ඒ අනුව අද දිනයේ සිට මහජනතාව ඒකරාශී වන කිසිදු උත්සවයක්, වැඩමුළුවක්, විවාහ උත්සව වැනි අවස්ථා පැවත්වීමට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කෙසේවෙතත් යම් විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බවද පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ නිවසකදී හෝ යම් ස්ථානයකදී විවාහයක් ලියාපදිංචි කරගැනීමට හැකි බවය. ඒ සඳහා මනාල යුවල, දෙපාර්ශ්වයේ දෙමව්පියන්, රෙජිස්ටාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනාට සහභාගීවීමේ හැකියාවක් පවතී.ඒ හැරෙන්නට වෙනත් කිසිවෙකුටත් ඊට සහභාගීවීමට අවස්ථාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර අද (16) දින රාත්‍රී 10 සිට හෙට (17) අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකය. එය අද සිට නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම ක්‍රියාත්මක වේ.

එම කාලපරිච්චේදය තුළ මාර්ගවල ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකයින්ට හා ඊට අදාළ වාහන සඳහා පමණි. මේ අතර නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු ඊයේ (15) දිනය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව එම වැරදි සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 54,612කි. පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 479 දෙනෙකු ද ඊයේ දින ආපසු හරවා යැයූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් හෝ ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවකදී පමණක් පළාත් මායිම් හරහා ගමන් කිරීමට අවස්ථාව හිමිවේ. මේ අතර අද දිනයේ සිට මුහුණු ආවරණ නොපලඳින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දීපව්‍යාප්තව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද පොලීසිය පවසයි.

මේ අතර, කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට එකම පිළිතුර රට වසා දැමීම යැයි සැලකීම අපහසු බව කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙයි.

ඇමරිකාව, එංගලන්තය මාස ගණනාවක් සිය රට වසා දමා තිබූ නමුත් නැවත විවෘත කිරීමෙන් පසු වෛරසය විශාල ලෙස පැතිරී යන බවද ඔහු පැවසීය. එනිසා රට වසාදැමීම වෛරසය ව්‍යාප්තියට එකම උත්තරය ලෙස සැලකීමට අමාරු බව ද ඔහු කියා සිටී.

රජයක් ලෙස මේ මොහොතේ සෑම පැත්තකින්ම ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ඔහු සදහන් කරයි. මාධ්‍යවේදීන් කළ විමසීමකට පතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now