පහළ කඩුගන්නාවෙන් ඉහළට යනවාද? මාර්ගයේ තත්ත්වය මෙන්න - අවධානයෙන්
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාම් හේතුවෙන් අවහිර වී තිබූ මාර්ග කොටස තාවකාලික විසඳුමක් යොදා ගෙන නැවත විවෘත කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
කෙසේ නමුත්, වර්ෂාපතනය ඉහළ යන කාලවලදී මෙම මාර්ගයේ ගමන් කිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන නිවේදන සහ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජි. ආසිරි කරුණාවර්ධන මහතා රියැදුරන්ට සහ මගීන්ට උපදෙස් දෙයි.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමෙන් මාර්ගයට සිදු වූ හානිය අවම කිරීමට ඉංජිනේරු ක්‍රමවේදයන් සකස් කිරීම සඳහා මූලික පරීක්ෂණ මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත්, ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් අවදානම් ප්‍රදේශ හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙම ප්‍රදේශවලට අදාළ දත්ත ලබාගැනීම සඳහා මැනුම් කටයුතු ද දැනට පවත්වාගෙන යනු ලැබේ.
අද (27) දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් එක්ව පහළ කඩුගන්නාව ප්‍රදේශයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ආසිරි කරුණාවර්ධන මහතා මෙසේද පැවසීය:
"මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා අස්ථාවර ගල් කුට්ටි ඉවත් කිරීමටත්, මව් පාෂාණයේ උඩින් තිබෙන පස් තට්ටුව පහළට ගලාඒම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීමටත්, මාර්ගයේ පහළ ප්‍රදේශයේ අස්ථාවර වී තිබෙන බැම්ම පැති බැමි ඉදිකර සංරක්ෂණය කිරීමටත්... මේ කටයුතු කඩිනමින් සිදුකර මාර්ගය භාවිත කරන ජනතාවට ස්ථීර විසඳුමක් ලබාදීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමටයි අපි ක්‍රියා කරන්නේ."
මෙම මාර්ගය භාවිත කරන රියැදුරන්ට වර්ෂා කාලය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදන කෙරෙහි අවධානය යොමු කර ආරක්ෂිතව ගමන් කරන ලෙස දැනුම්දී ඇත.