පැය 2ක නොබිඳිය හැකි මැරතන් වාර්තාව සවේ කුඩු පට්ටම් කරයි
ලෝක මැරතන් ඉතිහාසයේ සුවිශේෂී මොහොතක් සනිටුහන් කරමින්, කෙන්යාවේ සෙබස්තියන් සවේ ලන්ඩන් මැරතන් තරගයේදී නිල තරගයක් තුළ ප්‍රථම වරට පැය දෙකකට අඩු කාලයකින් තරගය නිම කරමින් නව වාර්තාවක් පිහිටුවා ඇත.
30 හැවිරිදි සවේ, කිලෝමීටර් 42.195ක දුරක් පැය 1යි, මිනිත්තු 59යි, තත්පර 30ක කාලයකින් නිම කරමින් ඉතිහාසය අලුත් කළේය. මෙය පෙර පැවති ලෝක වාර්තාව වූ පැය 2:00:35 කාලය මිනිත්තුවකට වැඩි අගයකින් බිඳ දැමීමකි.
එම පෙර වාර්තාව තබා තිබුණේ අභාවප්‍රාප්ත කෙල්වින් කිප්ටම් විසිනි.
තරගයේ පළමු භාගය මිනිත්තු 60:29කින් නිම කළ සවේ, දෙවන භාගයේදී දැඩි වේගයකින් දිව ගොස් මිනිත්තු 59:01ක කාලයක් වාර්තා කළේය. අවසන් කිලෝමීටර් 10දී ඔහුගේ වේගවත් ප්‍රහාරයට මුහුණ දීමට සමත් වූයේ යොමිෆ් කෙජෙල්චා පමණක් වන අතර, ඔහුද පැය 2ට අඩු කාලයකින් (1:59:41) තරගය නිම කර දෙවන ස්ථානය හිමිකර ගත්තේය.
තුන්වන ස්ථානය දිනාගත් ජාකොබ් කිප්ලිමෝ ද පැරණි ලෝක වාර්තාවට වඩා වේගවත් ලෙස (2:00:28) තරගය අවසන් කළේය.
තරගයෙන් පසු අදහස් දක්වමින් සෙබස්තියන් සවේ පැවසුවේ, අවසන් මොහොතේ තමන්ට දැඩි ශක්තියක් දැනුණු බවත්, කාලය දුටු විට විශාල උද්යෝගයක් ඇති වූ බවත්ය.
හිටපු ඔලිම්පික් ශූර මෝ ෆාරා මෙම ජයග්‍රහණය “විශ්වාස කළ නොහැකි මොහොතක්” ලෙස විස්තර කර ඇති අතර, මනුෂ්‍යයෙකු පැය දෙකේ සීමාව බිඳ දමන තුරු දිගු කලක් බලා සිටි බවද සඳහන් කර තිබේ.
මෙම ජයග්‍රහණය මැරතන් ධාවන ඉතිහාසයේ නව යුගයක ආරම්භයක් ලෙස ක්‍රීඩා විචාරකයෝ සලකති.