පොලීසියට තොරතුරක් දුන් පවුලකට දරුවාත් තම නිවසත් අහිමි වෙයි

nivithigala drug incident kiriwathgala police special force
By Sewvandhi Jun 15, 2021 09:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තම ගම්මානය තුළ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත පිරිසක් පිළිබඳව පොලීසිය තොරතුරු ලබාදුන් පවුලකට අත්වූ ඉරණමක් පිළිබඳව නිවිතිගල, කිරිවත්ගල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව ඔවුන්ට මේ වනවිට සිය නිවස මෙන්ම තම පුත්‍රයා ද අහිමිවී ඇත.

නිවිතිගල, කිරිවත්ගල ප්‍රදේශයේ සිදුකරගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් පිළිබඳව පසුගිය 07 වනදා එම ප්‍රදේශයේ මෙම පවුලේ සාමාජිකයින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරක් ලබාදී තිබුණි. ඒ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ඒ පිළිබඳව කිහිප විටක් දැනුම් දුන්නද ඉන් ප්‍රයෝජනයක් නොමැතිවීම හේතුවෙනි.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ අදාළ මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානය වටලා තිබුණි. ඉන් මද වේලාවකට පසුව පැමිණි මත්පැන් ජාවාරම්කරුවන් පිරිසක් විසින් අදාළ තොරතුර ලබාදුන් පිරිස ජීවත් වු නිවස කඩාබිඳ දමා තිබේ. පුද්ගලයින් 07 දෙනෙකු පමණ එලෙස නිවසට දැඩි හානි සිදුකර තිබූ අතර පසුව එම පවුලේ පිරිමි දරුවකුට පහරදීම සඳහා ඔහු පසුපස හඹාගොස් ඇත.

ඔහුගේ මව පවසන්නේ තම දරුවා මේ වනතෙක් සොයා ගැනීමට නොහැකි වූ බවය. "අපි ඔත්තු දුන්නා කියලා අපේ ගේ කඩලා විනාශ කරලා පුතාව පන්නගෙන ගියා. අදට සතියකට වැඩියි. තාම පුතා ගෙදරට ආවේ නෑ. ඉන්නවා ද මැරුණ ද කියලවත් අපි දන්නේ නෑ. තාම පොලීසිය හොයලා දුන්නෙත් නෑ."

නිවැසියන් විසින් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයන් 07 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ද ඔවුන්ව එදිනම ඇප මත මුදාහැර තිබේ. ඉන් පසුව ද නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් තම ව්‍යාපාරය සුපුරුදු පරිදි සිදුකරමින් සිටින බව වාර්තා වේ.

ඇප මත පැමිණ සිටි පිරිස නැවත එම නිවැසියන්ට මරණ තර්ජන සිදුකරමින් එම ප්‍රදේශය අතහැර යන ලෙසට පවසා තිබේ. මේ හේතුවෙන් දැඩි අසරණ භාවයට පත්ව සිටින නිවැසියන් ඉල්ලා සිටින්නේ සිද්ධිය සමතයකට පත්කර සිය ආරක්ෂාව සලසා දෙන ලෙසය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now