අනුරාධපුරයට එන සැදැහැවතුන්ට තොරතුරු ගන්න App එකක්
පොසොන් සමයේ අනුරාධපුර නගරයට පැමිණෙන සැදැහැවතුන්ට අපහසුතාවකින් තොරව වන්දනා කටයුතු සිදුකර ගැනීමට සහාය වීමේ අරමුණින් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මනුසත් දෙරණ සමඟ එක්ව ඩිජිටල් මගපෙන්වීමක් ආරම්භ කර තිබේ.
ඒ අනුව “Poson Vandana” ජංගම දුරකථන යෙදුම (https://posonvandana.lk/) හරහා වාහන නැවතුම් ස්ථාන, දන්සල් පිහිටි ස්ථාන ඇතුළු වැදගත් තොරතුරු රැසක් සැදැහැවතුන්ට ලබාගැනීමට හැකියාව සලසා ඇත.
මේ අතර, පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 18,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දන්සල් 18,129ක් ලියාපදිංචි වී තිබූ බවයි.
අනුරාධපුර පුදබිම වෙත පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පහසුකම් රැසක්ද සූදානම් කර ඇති අතර, පූජා නගරය පිරිසිදුව තබා ගැනීම සඳහා දිරන සහ නොදිරන කසළ වෙන්කර නිසි ලෙස බැහැර කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ.
ඒ යටතේ සැදැහැවතුන්ට කසළ මළු බෙදාදීමේ වැඩසටහනක් මනුසත් දෙරණ ඇතුළු ආයතන කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇත.
පොසොන් සමය තුළ දන්සල් පරීක්ෂා කිරීම අද(29) සහ හෙට(30) දිනයන්හිදී සිදුකිරීමට නියමිත අතර, පොසොන් කලාප ආශ්‍රිත වෙළඳසැල් සහ තාවකාලික වෙළඳ ස්ථානද සතිය පුරා පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.
මේ අතර, 2026 වසරේ පොසොන් කලාපය මෙවර මුල්කිරිගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.