නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පත සකස් කර අවසන් -ඇමති ජීඑල්

srilanka Politics J l pieris
By Sithumi Oct 18, 2021 02:40 PM GMT
Sithumi

Sithumi

Report

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනාධිපතිවරයා, පත්කරන ලද කමිටුව මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කමිටුව සකස් කර අවසන් කරන ලද අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා,

"අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලි ප්‍රතිඥාවක් අපේ රටේ ජනතාවට දුන්නා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණයය කරලා ක්‍රියාත්මක කරනවා කියලා. අද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වුණේ ජේ. ආර්. ජයවර්ධන යුගයේ.

1978 වසරේ. ඒ දශක හතරහමාරක් තුළ අපේ සමාජය දැඩි විපර්යාසයකට භාජනය වෙලා තියෙනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා පත්කළා නීතිඥයන් සහ විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්. ඒකේ සභාපතීත්වය දරන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මැතිතුමා.

දැන් එ් කමිටුව අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර අවසන්. දැන් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා එකේ අවසාන ලියවිල්ල සකස් කිරීමට. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අවසානයේ දී එක රජයට ඉදිරිපත් කිරීමට පුළුවන් තත්ත්වයක තිබෙයි කියලා.

ඒ අනුව 2022 ජනවාරි මාසයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙනවා."