covid මර්දන කමිටුවෙන් හදිසියේම තීරණ රැසක්

By Sewvandhi Oct 01, 2021 10:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රට විවෘත කිරීමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දී තිබේ. නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව එකතුවීම සිදුවුවහොත් නැවතත් කොවිඩ් වසංගතය පැතිරී යාමේ අවදානමක් මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇතැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අද (01) පෙරවරුවේ විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ, රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවයට කැඳවීමේ දී හා ප්‍රවාහන කටයුතු පිළිබඳ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, අදාළ චක්‍රලේඛයන්ට අනුව පවත්වාගෙන යා යුතු බවය.

මේ අතර, වයස අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහණයෙන් 95%කට ආසන්න ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවත් අවුරුදු 20 - 30 අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරණය සාර්ථකව සිදුකෙරෙමින් පවතින බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

මේ අතර එන්නත් ලබාදීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් සිදුකිරීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබේ. සංචාරක සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග පිළිබඳ ද දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර, වසංගත තත්ත්වය පාලනය කර, ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස්, මාධ්‍ය මඟින් ජනතාව වෙත අඛණ්ඩව ලබාදීමට තීරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now