බූස්ටර් මාත්‍රාව ලබාදීම ගැන අලුත් තීරණ කිහිපයක්

By Sewvandhi Nov 26, 2021 09:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මඟින් බුස්ටර් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී බුස්ටර් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ අතර කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝගවලින් පෙළෙන සියලුදෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝනොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම සිදුකෙරෙනු ඇති.

අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එම පිරිසට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ දී මෙම තීරණ ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW