අලුතින් හමු වූ ප්‍රබලතම කොරෝනා ප්‍රභේදය නිසා අද ලංකාවේ වෙන දේ මෙන්න.

Covid Sri Lanka
By Aruna Nov 26, 2021 07:45 AM GMT
Aruna

Aruna

Report

නව කොරෝනා ප්‍රභේදය මෙරටට පැතිරීමේ අවදානම පිළිබඳව අද පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙතෙක් සොයා ගැනුණු ප්‍රබලතම කොරෝනා වෛරස් ප්‍රභේදය ලෙස සැළකිය හැකි නව ප්‍රභේදය වාර්තා වූයේ දකුණු අප්‍රිකාවෙන්.

බී - එක - එක - පන්සිය විසි නවය ලෙස හඳුන්වන මෙම නව කොරෝනා ප්‍රභේදය මෙතෙක් සොයා ගැනුණු වැඩිම පරිණාමයට ලක් වූ කොරෝනා ප්‍රභේදයයි.

නව ප්‍රභේදය, ඇල්ෆා, ඩෙල්ටා ආකාරයට ග්‍රීක හෝඩියේ අකුරකින් නම් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද දිනයේදී සිදුකිරීමට නියමිතයි. දකුණු අප්‍රිකානු වසංගත රෝග ප්‍රතිචාර අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටුලියෝ ඩි ඔලිවේරා සඳහන් කළේ, මෙම නව කොරෝනා ප්‍රභේදයේ විකෘතිතා 50 කට අධික සංඛ්‍යාවක් පවතින බවයි.

ඉන් 30 ක් එන්නත්කරණය මගින් කොරෝනා ආසාදනය අවහිර කරන වෛරසයේ ප්‍රෝටීන් කොටස ඉලක්ක කරගත් ඒවායි.

මෙලෙස ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මෙන් දෙගුණයක් විකෘතිතා සහිත නව ප්‍රභේදය එන්නත්වලින් ලබන ප්‍රතිශක්තිය මග හරිමින් ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව සඳහන්.

නව ප්‍රභේදය වාර්තා වීමත් සමඟ දකුණු අප්‍රිකානු කළාපයේ රටවල් 6 ක් සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්ස්වානා, ලෙසතෝ සහ එස්වටිනි යන රාජ්‍යයන්ගෙන් බි්‍රතාන්‍යයට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටවනු ලැබුවා.

බ්‍ර්තාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එය මෙතෙක් සොයාගැනුණු දරුණුතම කොරෝනා වෛරස් ප්‍රභේදය විය හැකි බවයි.

හොංකොං රාජ්‍යයෙන්ද නව ප්‍රභේදයේ ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඕස්ටේ්‍රලියාව ප්‍රකාශ කළේ අප්‍රිකානු රටවලින් පැමිණ සංචාරකයන් සඳහා තම දේශසීමා වසා දැමීම් පිළිබඳව අවධානය යොමු කරන බවයි.

මෙම නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ද සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මෙන් දෙගුණයක් විකෘතිතා පවතින නව ප්‍රභේදය ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත වන අතර ඊට, එන්නත්කරණ ප්‍රතිශක්තිය පහසුවෙන් මගහැර යා හැකියි.

මේ වනවිට බී එක එක 529 දරණ නව ප්‍රභේදයේ ආසාදිතයන් 59 දෙනෙකු දකුනු අප්‍රිකානු කලාපයෙන් සොයාගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now