කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කෙරේ
කොළඹ වරාය නව සෞඛ්‍ය කාර්යාල සංකීර්ණය විවෘත කෙරේ කොළඹ වරාය නව සෞඛ්‍ය කාර්යාලය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.
කොළඹ වරායේ සෞඛ්‍ය පරීක්ෂණ, රෝග නිරීක්ෂණ, නිරෝධායන කටයුතු සහ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මහල් පහකින් සමන්විතව මෙම නව කාර්යාල සංකීර්ණය ඉදිකර ඇත.
කොළඹ වරාය හරහා මෙරටට ඇතුළුවිය හැකි මහජන සෞඛ්‍ය අවදානම් කල්තියා හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම, බෝවන රෝග නිරීක්ෂණය කිරීම, හදිසි සෞඛ්‍ය අවස්ථාවන්ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව දේශසීමා සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම මෙම කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරය වේ.
ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරන ලද "නිරිතදිග ආසියාවේ බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා වූ දේශසීමා පාලන ධාරිතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය" යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 168කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයක් බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.