පැරදුණොත් වැටුප් කැපෙයි - දිනුවොත් කෝටි ගණන් බෝනස්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ කණ්ඩායම් ජයග්‍රහණ වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම නව ක්‍රමවේදය යටතේ, ජාත්‍යන්තර තරගාවලිවලදී ක්‍රීඩකයන්ට ලබාදෙන බෝනස් සහ ගෙවීම් ක්‍රමය සැලකිය යුතු ලෙස වෙනස් කර ඇති අතර, දක්ෂතා මත පදනම් වූ ප්‍රතිලාභ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව නීති අනුව, ඉදිරියේදී තරගාවලි ජයග්‍රහණ සඳහා බෝනස් හිමිවන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින Top 4 කණ්ඩායම්වලට එරෙහිව ජයග්‍රහණ ලබාගත් අවස්ථාවල පමණි. මීට පෙර Top 9 කණ්ඩායම් අතර ඕනෑම තරගාවලියක් ජයග්‍රහණය කළහොත් බෝනස් හිමිව තිබුණි.
එමෙන්ම, ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 ආකෘතිවලින් ඕනෑම තරගාවලියක් පරාජය වුවහොත්, එම තරගාවලියට අදාළ තරග ගාස්තුවෙන් සියයට 10ක් කපා හරිනු ඇත.
විදෙස් තරගවල ජයග්‍රහණ සඳහා සම්පූර්ණ බෝනස් මුදල් ලබාදෙන අතර, දේශීය තරගවලදී එම බෝනස් ප්‍රමාණය සීමා කර ඇත. කෙසේ වෙතත්, විස්සයි20 තරගාවලියන්හිදී දේශීය සහ විදේශීය ජයග්‍රහණ දෙකටම සමාන බෝනස් මුදලක් ලබාදෙන බව සඳහන් වේ.
ඒ අනුව, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ටෙස්ට් කණ්ඩායමක් පරාජය කළහොත් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 150,000ක බෝනස් මුදලක් හිමිවනු ඇත. එසේම 2, 3 සහ 4 ස්ථාන හිමි කණ්ඩායම්වලට එරෙහි ජයග්‍රහණ සඳහා පිළිවෙලින් ඩොලර් 100,000, 75,000 සහ 60,000 ලෙස බෝනස් මුදල් අඩුවෙමින් ලබාදෙනු ඇත.
මෙම නව ක්‍රමවේදය මඟින් ක්‍රීඩකයන් අතර තරඟකාරීත්වය වැඩි කිරීමත්, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ වැඩිදියුණු කිරීමත් අපේක්ෂා කරන බව වාර්තා වේ.
අංක 01 කණ්ඩායම පරාජය කිරීම
ටෙස්ට්
විදේශයකදී අ.ඩො. 150,000ක්
මබ්බිමේදී අ.ඩො. 100,000ක්
එක්දින
විදේශයකදී අ.ඩො. 150,000ක්
මෙරටදී අ.ඩො. 75,000ක්
විස්සයි20
දෙස් විදෙස් ඕනෑම ස්ථානයකදී අංක 1 කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 75,000ක් හිමිවේ.
සෑම තරගයක් සඳහාම ක්‍රීඩකයන්ට ලැබෙන ගෙවීම්
ටෙස්ට්
ජයකට - අ.ඩො. 15,000ක්
ජ.ප.තො - අ.ඩො. 10,000ක්
පරාජය/ විසඳුමක් නැති - අ.ඩො. 7,500ක්
එක්දින
ජයකට - අ.ඩො. 7,500ක්
පරාජයකට අ.ඩො. 3,500
විසඳුමක් නැති අ.ඩො. 3,000.
විස්සයි20
ජයග්‍රහණයකට අ.ඩො. 5,000
පරාජයකට අ.ඩො. 2,500
අතහැර දැමූ තරගයකට අ.ඩො. 2,000.
නායකයන් සඳහා විශේෂ ගෙවීම් නායකත්ව වගකීම අගය කරමින් සෑම තරගයකදීම අතිරේක දීමනාවක් නායකයාට හිමිවේ. කෙසේ නමුත් සමස්ත තරගය පුරා රැඳී සිටියහොත් පමණක් එය ලබාදේ.
ටෙස්ට් සහ එක්දින -
එක් තරගයකට අමතරව අ.ඩො. 1,000.
විස්සයි20 -
එක් තරගයකට අමතරව අ.ඩො. 500.
ICC ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රීඩකයන් පෞද්ගලිකව ලබාගන්නා දක්ෂතා මතද දිරිගැන්වීම් ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඕනෑම ආකෘතියක ලොව අංක 1 ක්‍රීඩකයා වුවහොත් අ.ඩො. 25,000 (එක් වරක් පමණි)ක්.
ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2 සිට 5 දක්වා ස්ථානයක පසු වුවහොත් අ.ඩො. 20,000 (එක් වරක් පමණි)ක්.
මීට අමතරව ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් රඳවා ගැනීමේ ගාස්තු, සංචාරක ගාස්තු, දෛනික දීමනා සහ අනුග්‍රාහක දායකත්වය මතද දීමනා ලබාදීමට තීරණය කර තිබේ. කෙසේ නමුත් මෙම නව ගෙවීම් ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් විමසා සිටි අතර, එහිදී පවසා සිටියේ නව ගෙවීම් ක්‍රමවේදය ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.