එල් නිනෝ දරුණු වන මාස ඇමති හෙළිකරයි - “නළ ළිං ආයෙත් ගෙන්න වෙයි” [VIDEO]
පවතින එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මේ වනවිට මතුව ඇති ජල ගැටලුව ඉදිරියේදී යළිත් උග්‍ර විය හැකි බැවින් ඒ සඳහා පූර්ව සූදානම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එහිදි අදහස් දැක්වු එතුමා,
''කථානායකතුමනි,අපි දන්නවා දැන් මේ එල් නිනෝ තත්ත්වය පුරෝකථනය කරලා තියෙනවා.මේ වියළි කාලගුණය බොහෝ විට සැප්තැම්බර් මේ මාසයේ අවසානයට පහව යයි. එ කියන්නේ තව සති දෙකකින් වැස්ස ඇදවැටෙයි කියන එක තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනය. නමුත් ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වැහැලා, බොහෝ විට ජනවාරි මාසයේත් යම් වැසි ප්‍රමාණයක් ලැබෙයි. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන මාස තුන සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් අපේ රටේ තියෙන්නේ. නමුත් 2027 මේ මාස තුන අපි අපේක්ෂා නොකරන මට්ටමේ වියළි කාලගුණයක් අත්විඳින්න වෙයි කියලා තමයි පුරෝකථනය කරලා තියෙන්නේ. එ නිසා මේ දැන් අපි අත්විඳිමින් තියෙන ජල ගැටලුව, මේ ජල සම්පාදයේ ගැටලුව, නැවත පෙබරවාරි, මාර්තු, අප්‍රේල් පැනනගින්න නියමිතයි. ඒ නිසා ඇත්තටම අපි මේ ගන්න ක්‍රියාමාර්ග මේ වේලාවට උත්තරයක් වගේම, 2027 පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වල එළඹෙන්නට නියමිත, අත්විඳින්නට නියමිත වියළි කාලගුණයේදි එ සඳහා ගන්නා පූර්ව ක්‍රියාමාර්ග ලෙසත් හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අත්හැරලා දාලා තියෙන නළ ළිං තියෙනවා. මේ නළ ළිං කාලයකින් පාවිච්චි කරලා නැහැ. නමුත් ජල මූලාශ්‍රයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ජල සම්පාදන මණ්ඩලයේ ජල භූගත අංශය පාවිච්චි කරලා මේ ළිං පිළිසකර කරන වැඩසටහනක් අපි ආරම්භ කළා. මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ නළ ළිං 57ක් අපි පිළිසකර කරලා, ජල මූලාශ්‍ර විදිහට නැවත පාවිච්චියට ගන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ සහ තව මඩකළපුව දිස්ත්‍රික්කයේ සහ තවත් දිස්ත්‍රික්කවල මෙහෙම අපි සැළසුම් කරලා තියෙනවා නළ ළිං ප්‍රතිසංස්කරණය කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. මේ සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකොට, මේ සති දෙකේදී මේවා පවිචිචියට ගන්න බැරි වුණත්, මේ පිළිසකර කරන ක්‍රියාමාර්ග, මේ පිළිසකර කරන වැඩ කටයුත්ත අපිට ප්‍රයෝජනවත් වෙන්නේ 2027 පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන මාස තුනේදී. ඒ වගේම තමයි භූගත ජල අංශය ශක්තිමත් කිරීම සඳහා වාහන, යන්ත්‍ර සහ අනෙකුත් අමතර උපාංග ගෙන්වා ගැනීම සඳහාත් අපි දැන් කටයුතු කරලා තියෙනවා. මේ විදිහට අපි මේ වේලාවේ උත්තරයක්, මධ්‍යකාලීන සහ දිගුකාලීන පිළිතුරු සහිතව තමයි මේ කටයුතු සඳහා සම්බන්ධ වෙමින් තියෙන්නේ.''