ආචාර්ය නන්දා මාලිනීගේ ගීත වාණිජමය ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට එරෙහිව නීතිමය පියවර
අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී විසින් ගායනා කළ, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත ගීත වාණිජ පරමාර්ථයෙන් නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව දැනුම් දී තිබේ. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් මත ‘කැපිටල් සිටි ලෝ’ (Capital City Law) නීතිඥ සමාගම විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
එම නිවේදනයට අනුව, අදාළ ගීත වාණිජ අරමුණු සඳහා නැවත ගායනා කර පටිගත කිරීම, ‘කවර් වර්ෂන්’ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම උපහාර සහ අනුස්මරණ ප්‍රසංගවලදී වාණිජ අරමුණින් ගායනා කිරීම සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ.
එමෙන්ම, අදාළ ගීත වාණිජ පරමාර්ථයෙන් මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන ආකාරයෙන් භාවිත කිරීම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බව නීතිඥ සමාගම පවසයි.
මෙම පියවර 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන මෙන්ම, මහාචාර්ය සුනිල් ආරියරත්න සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සහ Cey Music යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසි අනුව ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
අදාළ ගීතවල බුද්ධිමය දේපළ සහ වාණිජ අයිතීන් සම්බන්ධයෙන් මීට පෙර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු අංක 22070/05 සහ පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ SC Appeal No. 155/2014 නඩු තීන්දුව මගින්ද එම අයිතීන් පිළිගෙන ඇති බව නීතිඥ සමාගම පෙන්වා දෙයි.
ඒ අනුව, අදාළ හිමිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පනත යටතේ සිවිල් සහ අපරාධ නඩු පැවරීමට කටයුතු කරන ලෙස සිය සේවාදායකයා උපදෙස් ලබාදී ඇති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත්, වාණිජ නොවන අරමුණින් පාසල්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල සිදුකරන අධ්‍යාපනික ගායනා සඳහා මෙම නීතිමය ක්‍රියාමාර්ග අදාළ නොවන බවද නිවේදනයේ පැහැදිලි කර තිබේ.
එමෙන්ම, ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකාවල විකාශය වන ආධුනික ගායනා තරග වැනි වාණිජ නොවන කටයුතු සඳහාද මෙම වළක්වාලීම අදාළ නොවන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.