සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ..පිල්ලෙයාන් සිද්ධියට CID මාව කැඳවනකල් තමයි මාත් බලාගෙන ඉන්නේ - නාමල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පිල්ලෙයාන් බැලීමට යාම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් කැඳවන තෙක් බලා සිටින බව සඳහන් කරයි.
එසේම එසේ කැඳවන විට තමන්ටද අසන්නට ප්‍රශ්න කිහිපයක් ඇති බැවින් තමන් අදාළ කැඳවීම කරන තෙක් මග බලාගෙන සිටින බවත් ඔහු පවසයි.
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ මහනුවර මාධ්‍ය හමුවක දීයි. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ,
“පිල්ලෙයාන්ගේ කටඋත්තරය ගන්න ගිය මහත්තයා ඇයි වරෙන්තු කරුවෙකුගෙන් ප්‍රකාශයක් අරන් ඔහුව අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියන ප්රශ්නය මට අහන්න තියෙනවා. ඒ ප්රශ්නය අහන්න මට කටඋත්තරයක් ගන්න එන්න කියනකල් මම මේ බලාගෙන ඉන්නේ. වරෙන්තු මත සිටින අයෙක් තානාපති කාර්යාලකට ගෙනල්ලා ඔහු අත්අඩංගුවට නොගෙන කටඋත්තරයක් ලියා ගත්තේ කොහොමද? කියන ප්රශ්නය අපිට තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා ආව වෙලාවේ ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක මණ්ඩලයට ඒ බව දැනුම් නොදී ඇයි ෆයිල් එක හංගගෙන හිටියේ කියන ප්‍රශ්නයත් මට අහන්න තියෙනවා. ජනතාවට දුන්න පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකිව ආණ්ඩුව අද ජනතාව මත අසීමිත ආර්ථික පීඩනයක් පටවමින් සිටිනවා. ජීවන වියදම දිනෙන් ඉහළ යනවා. විදුලිබිල, ඉන්ධන මිල, ජලබිල සම්බන්ධව අද විශාල කථිකාවක් ජනතාව අතර ගොඩනැගී තිබෙනවා.
එවැනි කාල සීමාවකදී ආණ්ඩුව ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුුතු කරනවා වෙනුවට පැහැදිළිවම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් මේ ආත්මයට වෙන කෙනෙකුට ආණ්ඩුව නොදෙන බවට අභියෝග කරනවා. ආණ්ඩුව මේ අභියෝගය කරන්නේ අපිට නෙවෙයි ජනතාවටයි. වැඩ කරලා, ජීවන වියදම් අඩු කරලා, රැකියා උත්පාදනය කරලා, ආයෝජකයෝ ගෙනල්ලා, සම්බුද්ධ ශාසනයත් බුද්ධ ධර්මයත් ආරක්ෂා කරලා ආණ්ඩුව මෙවැනි ප්‍රකාශ කරනවා නම් ඒක යම්කිසි ආකාරයකට සාධාරණයි කියලා හිතන්න පුළුවන්. ඒ මොකුත් නොකර ජනතාව මත දිනෙන් දින පීඩනය පටවලා ඒ පීඩනයට විරුද්ධව ජනතාව කතා කරත්දී ආණ්ඩුව බලහත්කාරයෙන් හරි අපි බලයේ ඉන්නවා කියන්නේ පුරවැසියන්ට තර්ජනය කිරීමක්. අද මේ ආණ්ඩුව රුපියල් ට්‍රිලියනක් ගිණුමේ තියාගෙනත් ජනතාව මත පීඩනය පටවනවා. කොවිඩ් වසංගතයත් එක්ක එදා මුළු ලෝකයම වැසී තිබුණා. සංචාරකයෝ රටට ආවේ නැහැ. කර්මාන්ත වැහුණා. එසේ තිබියදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ආරක්ෂා කරමින්, ගොවි ජනතාව ආරක්ෂා කරමින් ආණ්ඩුව කටයුුතු කළා. කන්න දෙකකට පොහොර නිකන් දුන්නා. අද මැදපෙරදිග යුද්ධයක් නිසා ගොවි ජනතාවට සාධාරණ මිලකට පොහොර ලැබෙන්නේ නැහැ. එදා කොවිඩ් අවස්ථාවේ තරම් සංචාරක කර්මාන්තයට රට වැහිලා නැහැ. යම් පසුබෑමක් තියෙන බව අපි පිළිගන්නවා. කර්මාන්ත ශාලා වැහිලා නැහැ. එසේ තිබියදීත් ලෝකයේ වැඩිම ලංසුව දීලා තෙල් මිලට ගන්න තැනට ආණ්ඩුව පත්වෙලා. විදේශ ආයෝජන නැතුව ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් ඒක කරන්න විහිළුවක්. බලයට පැමිණි පසු මේ රටට ආපු ලොකුම විදේශ ආයෝජකයේ ටික රටින් එලවා ගත්තා. කිසිම ආයෝජකයෙකුට රටට එන්න නොදී දොර වැහුවා. දේශීය ආයෝජකයින් අතරින් තමන්ට හිතවත් කිහිප දෙනෙකුට පමණක් පිටරටින් භාණ්ඩ ගෙනත් හම්බ කරගන්න අවස්ථාව දීලා බලාගෙන ඉන්නවා. මෙහෙම කරලා ඒ තුළින් රටේ ආර්ථිකය වර්ධනය කරන්න බැහැ. තමන්ගේ ව්‍යාපාරිකයින් දැන් හම්බ කළා ඇතිනේ. දැන් අනිත් අයට මේ රටේ රැකියා උත්පාදනය කරලා රට දියුණු කරන්න අවස්ථාවක් දෙන්න කියලා තමයි මම ආණ්ඩුවට කියන්නේ. සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ. අපි දෙන්න හම්බන්තොට අවුරුදු ගානක් එකට දේශපාලනය කළා. එයා ඒ පක්ෂයේ මම මේ පක්ෂයේ. ඒ හැම පාරකම මම හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. එතුමා දැන් කොළඹ දිස්ත්‍රික්කට ඇවිත් ඉන්නවා. ඔහුගේ තාත්තයි මගේ තාත්තයි හැප්පුනා. දැන් මමයි සජිතුයි හැප්පෙනවා."