"පොලීසිය ආණ්ඩුවේ දේශපාලන හස්තයක් කරගෙන" - නාමල්ගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා

Report

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පැහැදිලි හේතුවක් ආණ්ඩුවට ඉදිරිපත් කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දඹුල්ල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නඩු කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ප්‍රායෝගික විසඳුමක් නොවන බවත්, ඒ වෙනුවට දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සහ අවශ්‍ය නම් නව අධිකරණ පිහිටුවීම සිදුකළ යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

"මේ වගේ පිස්සො ටිකක් මං කොහෙවත් දැකලා නෑ" - සීලරතන හිමි ආණ්ඩුවට දෙහි කපයි

"මේ වගේ පිස්සො ටිකක් මං කොහෙවත් දැකලා නෑ" - සීලරතන හිමි ආණ්ඩුවට දෙහි කපයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව සහ ජනතාව අතරද විශ්වාසයක් නොමැති බව සඳහන් කළ ඔහු, එමඟින් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල විය හැකි බවට මතයක් පවතින බවද ප්‍රකාශ කළේය.

මේ අතර, වත්මන් ආණ්ඩුව පොලීසිය දේශපාලන අරමුණු සඳහා භාවිත කරන බවට ද නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.

රට තුළ සංවිධානාත්මක අපරාධ ඉහළ යමින් පවතින අවස්ථාවක ඒවා වැළැක්වීම සඳහා පොලීසිය ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගන්නේද යන්න පිළිබඳ ගැටලු පවතින බවත්, විපක්ෂ දේශපාලනඥයෙකු ප්‍රකාශයක් සිදුකළ අවස්ථාවක කඩිනමින් විමර්ශන ආරම්භ කිරීමෙන් පොලීසිය දේශපාලන බලපෑමකට යටත්ව ක්‍රියා කරන බව පෙනී යන බවත් ඔහු සඳහන් කළේය.

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, වෙඩි තැබීම් මෙන්ම නිවාසවලට බෝම්බ ප්‍රහාර එල්ලවීම වැනි සිදුවීම් ද වාර්තා වන බව සඳහන් කළේය.

ශානි සහ රවී පත් කරන්න කාදිනල්වරයා ඉල්ලුවාද? - සලේගේ නඩුවෙන් උණුසුම් තොරතුරු ටික මෙන්න

ශානි සහ රවී පත් කරන්න කාදිනල්වරයා ඉල්ලුවාද? - සලේගේ නඩුවෙන් උණුසුම් තොරතුරු ටික මෙන්න

එමෙන්ම, බන්ධනාගාර පද්ධතිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බවද ඔහු පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාර පද්ධතිය නිරීක්ෂණය කිරීමට කොපමණ අවස්ථා ගොස් තිබේද, බන්ධනාගාර සඳහා ස්ථිර කොමසාරිස්වරයෙකු පත් නොකර වැඩබලන කොමසාරිස්වරයෙකු යටතේ පද්ධතිය පවත්වාගෙන යන්නේ ඇයි සහ බන්ධනාගාරවල යටිතල පහසුකම් හා රැඳවියන්ගේ සුබසාධනය වෙනුවෙන් අයවැයෙන් වෙන් කළ මුදල් කොපමණ ප්‍රමාණයක් වැය කර තිබේද යන්න පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කළ යුතු බවද ඔහු කියා සිටියේය.

බන්ධනාගාර ආශ්‍රිත සිදුවීම් විපක්ෂයේ කුමන්ත්‍රණයක් ලෙස පෙන්වාදීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් එය ආණ්ඩුවේ දේශපාලන හා පරිපාලන අසමත්භාවයක් බවටද නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.

එමෙන්ම, වත්මන් ආණ්ඩුව විපක්ෂය, මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, ගොවීන්, වෛද්‍යවරුන් සහ ව්‍යවසායකයන් ඇතුළු විවිධ පාර්ශ්ව මර්දනය කිරීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.

හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුන් මරණ දඩුවමට කාදිනල් හිමිගේ විරෝධය

හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුන් මරණ දඩුවමට කාදිනල් හිමිගේ විරෝධය

කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර පොදු එකඟතාවක් ඇති කරගත හැකි බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු නීති ක්ෂේත්‍රයේ පාර්ශ්ව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය අවධානය පළකර ඇති බව සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී පොදු එකඟතාවකින් කටයුතු කිරීමට විපක්ෂය සූදානම් බවද පැවසීය.

මේ අතර, තමන් දඹුල්ල රජමහා විහාරයට පැමිණියේ මහානායක හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීම සඳහා බවත්, එය කිසිදු විශේෂ දේශපාලනික අවශ්‍යතාවක් මත සිදුකළ පැමිණීමක් නොවන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඩීසල්, පෙට්‍රල් සහ ගෝලීය ගෑස්වල දැඩි හිඟයක් - තෙල් මිල අහස උසට යන බවට අනතුරු ඇඟවීමක්

ඩීසල්, පෙට්‍රල් සහ ගෝලීය ගෑස්වල දැඩි හිඟයක් - තෙල් මිල අහස උසට යන බවට අනතුරු ඇඟවීමක්