යුක්‍රේනය හොල්ලමින් රුසියාවෙන් දරුණුතම ප්‍රහාරයක්- විශාල පිරිසකට ජීවිත අහිමි වෙයි
යුක්‍රේනයේ කියෙව් නගරයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇත ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර, රුසියාව විසින් යුක්‍රේනය වෙත එල්ල කරන බැලැස්ටික් මිසයිල ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර තිබේ. ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ සපොරිෂියා කලාපයට රාත්‍රියේ එල්ල වූ ප්‍රහාර සඳහා උතුරු කොරියාවෙන් ලබාගත් බැලස්ටික් මිසයිල භාවිත කර ඇති බවයි.
X සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක ඔහු සඳහන් කර ඇත්තේ, සිවිල් යටිතල පහසුකම්වලට උපරිම හානියක් සිදු කිරීම අරමුණු කරගත් දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
සෙලෙන්ස්කි පවසන්නේ කියෙව්හිදී එල්ල වූ ප්‍රහාරයකින් බෝවන රෝග සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහලකට ද හානි සිදුව ඇති බවයි.
එමෙන්ම, කෙර්සන් සහ කාර්කිව් ප්‍රදේශවල උපපොළ ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර හේතුවෙන් විදුලි සැපයුම බිඳවැටීම් සිදුව ඇති බවද ඔහු සඳහන් කරයි.
“රුසියාව ගන්නා සෑම පියවරක්ම — බැලස්ටික් මිසයිල නිෂ්පාදනය ඉහළ නැංවීම, උතුරු කොරියානු උපකරණ ගෙන ඒම සහ බලමුලු ගැන්වීම සඳහා සූදානම් වීම — මොස්කව් සාමය සඳහා නොව, උත්සන්න වීම සඳහා සූදානම් වන බව පැහැදිලිව පෙන්වා දෙනවා,” යැයි ජනපති සෙලෙන්ස්කි පැවසීය. රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීම සහ යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම මගින් ප්‍රතිචාර දක්වන ලෙසද ඔහු සිය මිත්‍ර රටවලින් ඉල්ලා සිටියේය.