සංස්ථාව දැනට පවතින මිලට වඩා රුපියල් 25 ක් අඩුවෙන් ඉන්ධන ලබා දෙනවා.. ඉන්ධන සහනයක් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
විදුලි උත්පාදන ලංකා (EGL) පෞද්ගලික සමාගම වෙත දැනට පවතින වෙළඳපල මිලට වඩා රුපියල් 25 ක් අඩු සහනදායී මිලකට විදුලි උත්පාදනය සඳහා ඉන්ධන ලබා දෙන බවට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරයි.
ඒ අනුව පුවත්පතකට ඊයේ (10) දින අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මෙම වැඩපිළිවෙළ මීට පෙරද පැවති එකක් බවත්, විදුලි උත්පාදන ලංකා පෞද්ගලික සමාගම වෙත සහනදායී පදනමක් යටතේ ඉන්ධන සැපයීම තවදුරටත් කරගෙන යාමට එම යාන්ත්‍රණය යළි ක්‍රියාත්මක කළ බවත්ය.
එහිදී, "ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනට පවතින මිලට වඩා රුපියල් 25 ක් අඩුවෙන් ඉන්ධන ලබා දෙනවා. ඒක මීට කලිනුත් තිබුණු ක්‍රමවේදයක්. අපි ඒ ගැන වැඩිදුරටත් සාකච්ඡා කරලා ඒ යාන්ත්‍රණය නැවත ස්ථාපිත කළා," යනුවෙන් අමාත්‍යවරයා පැවසූ බව සඳහන්.
එමෙන්ම විදුලි පාරිභෝගිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික සඳහන් කරන්නේ, නවතම විදුලි ගාස්තු සංශෝධනයට ඇතුළත් කර ඇති එක් කොන්දේසියක් වන්නේ විදුලි උත්පාදන ලංකා පෞද්ගලික සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමඟ ඉන්ධන මිලදී ගැනීමේ ගිවිසුම්වලට එළඹීම බවයි.
එමෙන්ම විදුලි උත්පාදන ලංකා පෞද්ගලික සමාගමට ගිවිසුම සම්පූර්ණ කිරීමට ලබා දී තිබූ කාලය දැනටමත් අවසන් වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව තහවුරු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.
කෙසේ වෙතත් විදුලි උත්පාදන ලංකා පෞද්ගලික සමාගම සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අතර සාකච්ඡා තවදුරටත් පවතින බව මින් පෙර වාර්තා වූ අතර, ඉන්ධන මිලට ඇතුළත් කර ඇති 'බෙදාහැරීමේ නිලධාරීන්ගේ කොමිස් මුදල' සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මතභේදාත්මක තත්ත්වයක් පැවතුනි.