හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුන් මරණ දඩුවමට කාදිනල් හිමිගේ විරෝධය
කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුකූලව මරණීය දණ්ඩනය කිසිසේත්ම පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීම් ලැබී තිබියදීත් සිය වගකීම් පැහැර හැරීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය මඟින් මරණ දණ්ඩනය නියම කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මරණීය දණ්ඩනය පැපවීම මඟින් මානව ගරුත්වය බරපතළ ලෙස උල්ලංඝනය වන බවත්, ශුද්ධ වූ කතෝලික සභාවේ මූලික ඉගැන්වීම්වලට අනුව කිසිදු පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය පැනවීම අනුමත කළ නොහැකි බවත් කාදිනල් හිමියන් මෙහිදී අවධාරණය කර සිටියේය.
කෙසේවෙතත්, ශ්රී ලංකා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය කෙරෙහි තමන් පූර්ණ විශ්වාසය තබන බවත්, අධිකරණයේ ස්වාධීන තීරණවලට හෝ නීතිමය ක්රියාදාමයන්ට කිසිදු ආකාරයකින් බලපෑම් කිරීමට හෝ මැදිහත්වීමට අදහස් නොකරන බවත් කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
2019 පාස්කු ඉරුදින සිදුවූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් මෑතක සිට සමාජය තුළ විශාල සංවාදයක් නිර්මාණය වී ඇති පසුබිමක, කොළඹ අගරදගුරු පදවිය මෙම ම්ලේච්ඡ ප්රහාරයේ වින්දිතයින් බවට පත් වූ ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සහ සහනුකම්පාවෙන් යුතුව කටයුතු කරන බව ද නැවත මතක් කර දෙයි.
එමෙන්ම මෙම ත්රස්ත ප්රහාරයන් පිටුපස සිටි ප්රධාන මහ මොළකරු හෝ මහ මොළකරුවන් ඇතුළු සියලුම වගකිවයුතු පාර්ශ්වයන් නිසි ලෙස හෙළිදරව් කර ගැනීම සහ රටේ නීතියට අනුකූලව වින්දිතයන්ට සහ බියගුලු ලෙස ඝාතනය වූ පිරිසට සාධාරණ යුක්තිය ඉටු කර දීම වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කිරීම කොළඹ අගරදගුරු පදවියේ ප්රමුඛ සහ දැඩි අපේක්ෂාව වන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.