උතුරේ ප්‍රාදේශීය රෝහල් 33ක එක හෙදියක්වත් නෑ සුව ඇමති කට අරී [PHOTOS]
සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් උතුරු පළාතේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33ක් පවතින බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඉදිරියේදී නව හෙද පත්වීම් ලබාදීමත් සමඟ එම පුරප්පාඩු සපුරාලීමට පියවර ගන්නා බව ඔහු පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ඒ අනුව නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දින පෙරවරුවේ සිදු කර තිබෙනවා.
මෙම නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලට හදිසි අනතුරු ඒකකයක්, ඖෂධ ශාලාවක්, එන්නත් කාමරයක්, දන්ත ඒකකයක්, හෙද විවේකාගාරයක්, ඊ.සී.ජී ඒකකයක්, ශල්‍ය ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් අයත් වේ. මෙහිදී නලින්ද මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් යාපන අර්ධත්වීපයට පැමිණි මුල්ම අවස්ථාව එය බවයි.
එසේම පැමිණි ප්‍රථම රෝහල නයිනතිවි රෝහල බවත් ඔහු සිහිපත් කර ඇත.
මේ අතර මෙබඳු ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට ඉකුත් මාස කිහිපය තුළ සවිස්තර සැලසුමක් සකස් කරමින් සිටින බව ද අමාත්‍යවරයා පවසා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පරිවර්තනයකට ලක් විය යුතු බව පැවසූ ඔහු සෞඛ්‍ය සේවාව ජනතාව කේන්ද්‍ර කර ගත යුතු වුවද පැවතුනේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් බව ද සඳහන් කළා.
යාපනය රෝහලේ රෝගී තදබදයට හේතු ලෙස ඔහු පෙන්වා දුන්නේ එම කාරණා සහ ජනතාව පුරුදුව තිබෙන්නේ දුර ගෙවා ගොස් ප්‍රතිකාර සේවා ලබා ගැනීමට බවත් පවසා සිටියා.
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාව පොලිම්වල නොතබා නවීන තාක්ෂණය යොදා ගනිමින් වේලාවක් ලබා දී ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඊට අමතරව තව දුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වෛද්‍ය උපකරණ සහ ගිලන් රථ ඇතුළු රථවාහන අළුත්වැඩියා කටයුතු අංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දුර්වල බවයි.
ඒ අනුව ඉදිරියේ දී මිල අධික වෛද්‍ය උපකරණ හා ගිලන් රථ ඇතුළු වාහන ලබාදීමේ දී එම භෞතික සම්පත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ආයතන හා කළමනාකරණයට කටයුතු යොදන බවත් රෝහලේ ගිලන් රථ අවශ්‍යතාව සපුරාලන බවත් ඔහු පවසා ඇත.







