LTTE සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් රට ගෙන ගිය නගර සභා සභාපති

India mayor municipal council LTTE kadugannava
By Sewvandhi Jul 08, 2021 08:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කඩුගන්නාව නගර සභාවේ සභාපති ,නගරාධිපතිවරයකු ලෙස පෙනී සිටිමින් තමන්ට හිමිකමක් නැති ප්‍රභූ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කරගෙන කූට ලේඛන සකසා රටින් පැන සිටින එල්ටීටීඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් 09ක් ජපානයට, ස්පාඤ්ඤයට හා ඉන්දියාවට රැගෙන ගොස් සිදුකළ මිනිස් ජාවාරමක් පිළිබඳව ජනාධිපති විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

 කඩුගන්නාව නගර සභා සභාපතිවරයා නියමිත රාජකාරි නිවාඩු අනුමත කර නොගෙන මේ විදේශ ගමන්වාර යොදාගෙන ඇත්තේ කඩුගන්නාව නගර සභාව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය විදුලි ව්‍යාපෘතියක් පිළිබඳ අධ්‍යයනයකට යන බව දන්වා සිටිමින් බවයි වාර්තා වන්නේ.

 ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය යොදාගෙන මේ තැනැත්තා වර්ෂ 2019 ජනවාරි සිට පෙබරවාරි මුල් භාගයේ ජපානයේ ගත කර ඇති බවත් මේ ගමනේදී නාගරික ලේකම්වරිය, භාෂා පරිවර්තක හා තාක්ෂණ නිලධාරි ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කාන්තාවන් ජපානයට රැගෙන ගොස් ඇති බවත් මේ එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් මෙම පුද්ගලයා ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධව ඉදිරිපත් වී ඇති පැමිණිල්ලේ දැක්වෙනවා.

  එමෙන්ම 2020.02.18 දින සිට 2020.02.24 දින දක්වා කාලය තුළ මේ තැනැත්තා ස්වකීය ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය භාවිත කරමින් ස්පාඤ්ඤයේ සංචාරය කර තිබෙනවා එහිදීද නගර සභා ලේකම්වරිය ලෙසත් තාක්ෂණ නිලධාරි හා භාෂා පරිවර්තක ලෙසත් කාන්තාවන් තිදෙනකු කූට ලිපි ලේඛන සකස් කර රැගෙන ගොස් ඇති බවත් ඔවුන් එක් අයකුගෙන් මේ ගමන සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් ලබාගෙන ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය පවසනවා .

ඔහු මේ ආකාරයෙන් ජපානයට ගමන් වාර දෙකක්ද ස්පාඤ්ඤයට ගමන් වාරයක් හා ඉන්දියාවට ගමන් වාරයක් ගොස් ඇති බව පැමිණිලිකරුවන් දක්වා තිබෙනවා . කඩුගන්නාව නගර සභාව නමින් ව්‍යාජ ලිපි ශීර්ෂයක් සකස් කර කඩුගන්නාව නගර සභාවේ දුරකථන අංකය ලෙස වෙනත් දුරකථන අංකයක් යොදාගෙන මෙම කටයුතු සිදුකර ඇතැයි දැනගන්නට තිබෙනවා.

  නගර සභා ලේකම්වරිය ලෙස පෙනී සිටිමින් ඊට එන ඇමතුම් ලබාගන්නේ මේ තැනැත්තාගේ බිරිය බවත්, ව්‍යාජ තොරතුරු ලබාදෙමින් මේ තැනැත්තා විසින් විදේශ ගත කළ කාන්තාවන් 09 දෙනාම තවම ලංකාවට පැමිණ නැතැයි පැමිණිලිකරුවෝ පෙන්වා දෙනවා නාගරික මන්ත්‍රිවරුන් කිහිපදෙනකු මේ වනවිට නගර සභාවේ ලේකම්වරියගෙන් ‘තොරතුරු දැනගැනීමේ පනත’ ප්‍රකාරව මේ පිළිබඳව තොරතුරු ඉල්ලා ඇති බවත් දැනගන්නට ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha