මුල්ලේරියාවේ ඝාතනයෙන් පසු නවතම CCTV දර්ශන එළියට (PHOTOS / CCTV VIDEO)

MURDER ANGODA MULLERIYAVA MEEGAHA VATHTHA MILINDHA
By Sewvandhi Oct 27, 2021 03:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු අංගොඩ මීගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (26) ඝාතනය කෙරුණි. එම වෙඩි තැබීමෙන් පසු ඝාතකයන් පළායන අයුරු දැක්වෙන නවතම සීසීටීවී දර්ශන පෙළක් පොලීසිය අද (27) මාධ්‍යයට නිකුත් කර තිබුණි.

එහි දැක්වෙන්නේ, වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් දෙදෙනා ඊයේ පෙරවරු 6.34ට පමණ කළු පැහැති හිස් ආවරණ සහ ජැකට් පැළඳ කඩුවෙල විහාරස්ථානයක් අසල රැඳීසිටින ආකාරයයි. එහිදී යතුරුපැදියකින් පැමිණෙන තවත් පුද්ගලයින් දෙදෙනකු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනාගෙන් යම් පාර්සලයක් ලබාගන්නා අයුරු සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙයි. පොලීසිය සැකකරන්නේ, අදාළ පාර්සලය තුළ වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනිඅවි තිබෙන්නට ඇති බවය.

පසුව එම යතුරුපැදිය ක්ෂණිකව යළි පැමිණි දෙසටම පළායයි. වෙඩි තැබීමට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනා මාර්ගයෙන් අනෙක් පසට පැමිණ ත්‍රීරෝද රථයක නැග යන අයුරුද දැකගත හැකිය. සැකකරුවන් භාවිත කළ හිස් ආවරණ දෙකක් සහ ජැකට් 3ක් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල පාළු ප්‍රදේශයක තිබියදී පොලිසිය අද සොයා ගත්තේය.

වෙඩි තැබීම සිදුකර තිබුණේ මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ නිවසකදීය. පොලිස් පරීක්ෂණවලදී අනාරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාම මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවය. සැකකරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවද පොලීසිය අද නිවේදනය කළේය.‍

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ, 42 හැවිරිදි ප්‍රනිත් නුවන් මිලින්ද නැමැති අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකි. සැකකරුවන් ඊයේ පෙරවරු 6.10ට පමණ මිලින්දගේ නිවසට ඇතුළු වී ඇත්තේ, තමන් පොලිස් නිලධාරීන් යැයි පවසමිනි. ගිනිඅවි දෙකක් අතැතිව නිවසට ඇතුළුවන ඔවුන් මිලින්ද නිදා සිටි කාමරයට ඇතුළු වී තිබුණේ, දොර කඩා දමමිනි.

එහිදී වෙඩික්කරුවන් දෙදෙනා කාමරයේ නිදා සිටි මිලින්දගේ හිසට වෙඩි කිහිපයක් එල්ල කර තිබුණි. වෙඩි හඬ ඇසීමත් සමග බුදුන් වඳිමින් සිටි මිලින්දගේ මස්සිනා වෙඩිකක්කරුවන් සමග පොරබදා ඇති අතර එම අවස්ථාවේදී ඔහුටද වෙඩි පහරක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ, මිලින්දගේ මස්සිනාගේ දකුණු කම්මුලෙන් ඇතුළු වූ වෙඩි උණ්ඩය වම් කම්මුල පසාරුකරගෙන ගොස් තිබූ බවය.

හිසට වෙඩි වැදුණු මිලින්ද එම අවස්ථාවේදීම මියයද්දී බරපතළ තුවාල ලැබූ මිලින්දගේ මස්සිනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. පොලීසිය පැවසුවේ, ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිටත් හඳුනාගෙන ඇති අතර ඔහු 30 හැවිරිදි පොන්නම්පෙරුර ආරච්චිලාගේ දොන් දනූෂ් බුද්ධික නොහොත් ජිලේ නැමැත්තෙක් බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

GalleryGalleryGalleryGallery