''වගකීම භාරගෙන මදි'' වැඩපිළිවෙළක් කෝ? බන්ධනාගාර තදබදය ගැන වසන්ත මුදලිගේ වත්මන් රජයෙන් ප්‍රශ්න කරයි

Report

ජන අරගල ව්‍යාපාරයේ සාමාජික වසන්ත මුදලිගේ ඊයේ සදුදා (06) අදහස් දක්වමින් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බවයි.

බන්ධනාගාර තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසන්ත මුදලිගේ සඳහන් කළේ, රැඳවියන්ට මූලික පහසුකම් පවා ප්‍රමාණවත් ලෙස නොලැබෙන තත්ත්වයක් පවතින බවයි. විශේෂයෙන් වැසිකිළි පහසුකම්, නිදා ගැනීමට ඇති ඉඩකඩ සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

වැරදිකරුවන් ලෙස සලකා රැඳවියන්ගේ මූලික අවශ්‍යතා නොසලකා හැරිය නොහැකි බවත්, බන්ධනාගාර තුළ පවතින අධික තදබදය හේතුවෙන් රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

බන්ධනාගාරවල පවතින තදබදයට විසඳුම් සෙවීම සඳහා කිසිදු රජයක් මෙතෙක් ප්‍රමාණවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවත්, වත්මන් රජයද එම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමට අවධානය යොමු කළ යුතු බවත් වසන්ත මුදලිගේ පැවසීය.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය මෙම දිගුකාලීන ගැටලුවේ ප්‍රතිඵලයක් බවත්, එමගින් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් දෙපාර්ශ්වයම බලපෑමට ලක්වන බවත් ඔහු සඳහන් කළේය. එම සිදුවීම සම්බන්ධයෙන් රජය පැහැදිලි ස්ථාවරයක් රටට ඉදිරිපත් කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

වගකීම භාර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, ගැටලුවට දිගුකාලීන විසඳුම් ලබාදීම සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම, බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවද වසන්ත මුදලිගේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ,

"දේශබන්දු තෙන්නකෝන් සිටි කාලයේ යුක්තියේ මෙහෙයුම කියමින් විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඒ වගේම වත්මන් ආණ්ඩුවත් මත්ද්‍රව්‍ය තුරන් කරන බව ප්‍රකාශ කළා. නමුත් ඒ යටතේ සිදු කළේ මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයන් හෝ ඒ සම්බන්ධයෙන් පහළ මට්ටමේ සිටින පිරිස් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමයි. නමුත් සැබෑ ගැටලුව තිබෙන්නේ මත්ද්‍රව්‍ය රැගෙන එන පුද්ගලයන් සහ මහා පරිමාණ ජාවාරම්කරුවන් සම්බන්ධයෙනුයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ එම ජාලය බිඳ දැමීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නැහැ. මහා මොළකරුවන් අත්අඩංගුවට නොගෙන, එම ජාලය විනාශ නොකර, පහළ මට්ටමේ සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර පිරවීමෙන් සිදුවන්නේ තදබදය තවත් වැඩි වීම පමණයි. අපි එදාත් කිව්වේ යුක්තියේ මෙහෙයුම හෝ වෙනත් මෙහෙයුමක් කියන්නේ පහළ මට්ටමේ සිටින පුද්ගලයන් අල්ලා බන්ධනාගාර පුරවන එක නොවන බවයි. කළ යුත්තේ මෙම ජාවාරමේ මුදුන් මුල කපා දැමීමයි. ඒ සඳහා මහා මොළකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. නමුත් එවැනි ක්‍රියාමාර්ග වෙනුවට සිදු කළේ සංදර්ශනාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. අද අපි දකිමින් සිටින්නේ එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම පිළිතුරු ලබාදිය යුතුයි."   

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

මීට සුළු වේලාවකට පෙර උණුසුම මැද අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

මීට සුළු වේලාවකට පෙර උණුසුම මැද අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට