මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට හොද ආරංචියක්
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිස් පුහුණු කිරීම පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එවකට ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.
එහෙත්, එම ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැති අතර ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දැනටමත් හඳුන්වා දී ඇති බහුවිධ ප්‍රවාහනය, ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය, ප්‍රාදේශීය සහ නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධනය, ප්‍රවාහන යටිතල පහසුකම් කළමනාකරණය, ප්‍රවාහන සුරක්ෂිතතාව වැනි සංකල්ප සහ කළමනාකරණ ක්‍රමවේද සඳහා අදාළ නව දැනුම ලබා ගැනීමට යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් හැකි වන බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව රථ වාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.