මිග් යානා නඩුව ජනවාරි 6ට කල් යයි – උදයංග වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ
මිග් යානා ගෙන්වීමේදී සිදු වූවා යැයි කියන මූල්‍ය වංචා චෝදනාවලට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන 2027 ජනවාරි 06 වනදා යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (02) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් පවරා ඇති මෙම නඩුවේ සැකකාර උදයංග වීරතුංග මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා ව්‍යාපාරික කටයුතුවල නිරත වන පුද්ගලයෙකු බැවින් එම ව්‍යාපාරික අවශ්‍යතාවලට විදේශගත වීමට සිදුව ඇති බවයි.
ඒ අනුව දැනට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉදිරි නඩු දිනය දක්වා තාවකාලිකව ඉවත් කිරීමටයි.
අදාළ නඩු ගොනුව මේ වන විට නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බැවින් ඊට කාලය ලබා දෙමින් වෙනත් දිනයක් වෙන්කර දෙන ලෙස විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම පරිදි නඩුව ජනවාරි 06 වනදාට කල් තැබිණි.