'ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2025'- ඉක්මනින් අයදුම්පත් භාරදෙන්න
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් වාර්ෂිකව ක්‍රියාත්මක කරන “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන” සඳහා අයදුම්පත් භාර ගැනීම 2025 ජුනි 20 දක්වා දීර්ඝ කර ඇත.
මෙවර “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2025” වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර, මීට පෙර මැයි 23 වැනිදා ලෙස නියම කර තිබූ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජුනි 20 දක්වා දීර්ඝ කර තිබේ.
වසර 3ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, දිවයිනේ පිළිගත් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීනව සේවයේ නියැලි වයස අවුරුදු 18-55 අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන්, සහ මාධ්‍ය තාක්ෂණික ශිල්පීන් සඳහා මෙම ශිෂ්‍යත්වයට අයදුම් කළ හැකිය. අයදුම්කරුවන් 2025 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා තිබිය යුතු අතර, ඉල්ලුම් කරන පාඨමාලාව මාධ්‍ය ක්ෂේත්‍රයට සෘජුවම අදාළ විය යුතුය.
මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ මාධ්‍යවේදීන්ට දෙවරක් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව හිමි වන අතර, පළමු ශිෂ්‍යත්වයෙන් පසු වසර 5ක් ඉකුත් වූ පසු දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය. උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා උපරිම රුපියල් ලක්ෂ 2 (200,000) සහ දිගුකාලීන හෝ කෙටිකාලීන සහතික පාඨමාලා සඳහා උපරිම රුපියල් ලක්ෂ 1 (100,000) මුදලක් ගෙවනු ලැබේ.
ශිෂ්‍යත්වලාභීන්ට පාඨමාලා ගාස්තුවෙන් 50%ක් ආරම්භයේදී පළමු වාරිකය ලෙස, 25%ක් දෙවන වාරිකය ලෙස, සහ ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු සහතිකපත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවනු ලැබේ. අයදුම්කරුවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරන තේරීම් කමිටුවක් හමුවේ සම්මුඛ පරීක්ෂණයකට භාජනය වන අතර, එමඟින් ශිෂ්‍යත්වලාභීන් තෝරා ගනු ලැබේ.
සියලුම අයදුම්පත් 2025 ජුනි 20 වන දිනට හෝ ඊට පෙර,
අධ්‍යක්ෂ (මාධ්‍ය),
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,
අංක 163, “ඇසිදිසි මැඳුර”, කිරුළපන මාවත, පොල්කේන්ගොඩ, කොළඹ 05
ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ www.media.gov.lk වෙබ් අඩවියේ QR කේතය ස්කෑන් කර මාර්ගගතව යොමු කළ හැකිය. “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2025” පිළිබඳ වැඩි විස්තර 0112513645 හෝ 0112514632 යන දුරකථන අංකවලින් හෝ www.media.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
