අයවැයට එරෙහි විරෝධය උණුසුම් වෙයි - දෙසැම්බර් 01 කොළඹට වෘත්තීය සමිති රැසක්

Report

 2027 අයවැයට විරෝධය පළ කරමින් තවත් වෘත්තීය සමිති රැසක් ලබන දෙසැම්බර් 01 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ.

අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය සඳහන් කරන්නේ, එදින අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බැවින් පොල්දූව මංසන්ධිය කේන්ද්‍ර කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවය.

එම සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියන් පෙන්වා දෙන්නේ, අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කරන බවට වූ පොරොන්දුව මත වත්මන් අග්‍රාමාත්‍යවරිය සිය දේශපාලන ගමන ආරම්භ කළ බවයි.

එහෙත් බලයට පත්වීමෙන් පසුව එම පොරොන්දුව ඉටු කර තිබේද යන්න පිළිබඳව රජය පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ. දෙසැම්බර් 01 වැනිදා පැවැත්වෙන විරෝධතාවයෙන් පසුව සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට සූදානම් බවද උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ.

මේ අතර, 2027 අයවැය තුළ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු සහ ඔවුන් සමඟ රජය ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව චෝදනා කරයි.

මේ ප්‍රදේශ වල ජනතාවට විශේෂ දැනුම්දීමක් - දිස්ත්‍රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

මේ ප්‍රදේශ වල ජනතාවට විශේෂ දැනුම්දීමක් - දිස්ත්‍රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, අදාළ කරුණු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවීම සඳහා පසුගිය 18 වැනිදා විරෝධතාවක් පැවැත්වූ බවත්, නොවැම්බර් 25 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාරදුන් බවත්ය.

විශ්වවිද්‍යාල සේවකයින්ගේ ගැටලු කඩිනමින් විසඳීමට ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔහු අනතුරු ඇඟවීය.

එමෙන්ම, රජයේ අයවැය ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් දෙසැම්බර් 01 වැනිදා විශ්වවිද්‍යාල ප්‍රජාව ද කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර, සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

එහි සභාපති සිරිතුංග ජයසූරිය මහතා චෝදනා කරන්නේ, වෘත්තීය සමිති ඉදිරිපත් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් දැක්වීම වෙනුවට රජය තර්ජනාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතිවලට එරෙහිව බලපෑම් කිරීම අනුමත කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

ගුරුවරුන් විසින් නොවැම්බර් 30 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත විරෝධතා ක්‍රියාමාර්ගය තීරණාත්මක වනු ඇති බවත්, එය සාර්ථක කර ගැනීම සඳහා සිය මධ්‍යස්ථානයේ පූර්ණ සහාය ලබාදෙන බවත් සිරිතුංග ජයසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු මෙන්ම රජයේ අයවැය ප්‍රතිපාදන සම්බන්ධයෙන් පවතින විරෝධතා හමුවේ දෙසැම්බර් 01 වැනිදා කොළඹදී වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතය.

කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්න

කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්න