විදෙස් රැකියා වංචාවකට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 2.5ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්
බලපත්‍රයක් නොමැතිව කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 42කට අධික මුදලක් වංචා කළ සිද්ධියකට අදාළව අධිකරණයේදී වරදකරු වූ හැටන් ප්‍රදේශයේ 48 හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර දෙකහමාරක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (26) නියම කළේය.
කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය මගින් පවරන ලද නඩු තුනකට අදාළව රුපියල් 2,155,000ක්, රුපියල් 1,117,400ක් සහ රුපියල් 1,096,800ක් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර තිබුණි.
බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබා ගැනීමේ චෝදනාවට මාස 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, වංචා කිරීමේ චෝදනාවට මාස 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට මාස 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වෙන වෙනම ගෙවී යන පරිදි මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
ඊට අමතරව රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අගතියට පත් පාර්ශ්වයට ගෙවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, දඬුවම් නියම කරන අවස්ථාවේ විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් ද නිකුත් කළේය.