මැදින් පුර පසලොස්වක පෝය දිනය අදයි...පොහොය දිනයේ වැදගත් සිදුවීම් මෙන්න.

Sri Lanka Religion Madin pura pasaloswaka pohoya
By Aruna Mar 17, 2022 02:35 AM GMT
Aruna

Aruna

Report

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදයි. 

අප බුදුන් වහන්සේ පළමුවරට ශාක්‍යයන් ජීවත්වන කිඹුල්වත් පුරයට වැඩම කෙළේ මැදින් පෝය දිනයේය.

සංසාර බැඳීමෙන් තම ඥාතීන් මුදා ගැනීමේ උතුම් අරමුණ පෙරදැරි කර ගෙන වැඩිය බුදුන් වහන්සේට ගරු කිරීම, වන්දනා කිරීම ආසන පනවා පිළිගැනීම් ආදිය නොකළ මාන්නක්කාර ශාක්‍ය වංශිකයන්ට නිවැරැදි අවබෝධයක් තිබුණේ නැත.

මේ නිසාම බුදුන් වහන්සේට ඔවුන්ගේ මාන්නය බිඳ හෙළීමට යමාමහ පෙළහර පෑමට සිදුවිය.

මේ ආකාරයට මැදින් පෝය දිනයේ මාන්නාධික ශාක්‍ය වංශිකයන්ගේ මාන්නය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මඟ පෙන්වා දුන් සේක. 

මැදින් පෝය මෙරට බෞද්ධයාට වැදගත් වන්නේ එය සිරිපා පෝය ලෙසින් පිළිගන්නා නිසයි.

සිරිපා වන්දනා සමය උදාවූ පසුව බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට සමනළ මුදුනට යන්නේ මැදින් පෝය දිනයටයි.

ඒ නිසා මේ පෝය සිරිපා පෝය ලෙසට ජන සම්මතයක් ගොඩ නැගී ඇත.

පරිසරය වියළි නිසා ගමන් යෑමේ පහසුව මත ජනතාව බක්මහට පෙර සිරිපා කරුණාකර එයින් මහත් කුසල් රැස් කර ගැනීමට වෑයම් කිරීම නිසාම මැදින් පෝය දිනයේදී නන් දෙසින් බෞද්ධ ජනතාව සිරිපා මළුවට රොක් වෙති.

මේ දිනයේ තවත් වැදගත් සිදුවීම් කීපයක්ම සිදුවිය.

බුදුන් වහන්සේ ඉදිරියේ රැස්වූ ශාක්‍ය වංශිකයනට ඉතා අසිරිමත් සිද්ධියක් දැක ගැනීමට හැකිවිය.

සියලු දෙනා ඉන් විෂ්මයට පත් වූහ.

ඉන්පසු බුදුපියාණන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළ සේක.

රජකම, වස්තුව, රාජකීය උරුමය, ධනය, බලය මේ සියලු දෑ උතුම් වූ අරමුණක් වෙනුවෙන් දන්දිය හැකි බව පෙන්වා වදාළ සේක.

පාරමිතා ධර්මයේ තිබෙන අසමසම ගුණය වෙස්සන්තර ජාතකයෙන් පෙන්වා දුන්හ.

මේ සියලු වටිනාකම් ගැන තේරුම් කර ගැනීමෙන් පසු සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට තෙවැනි වරට ද වන්දනා කෙළේය.

මැදින් පෝ දින බණ ඇසූ ශාක්‍ය වංශික ඥාතීහු විසිර ගියහ.

පසුදා උදෑසන විසි දහසක් පමණ බුදුන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූහු කිඹුල්වත් පුර වීදිවල පිණ්ඩපාතය සඳහා සංචාරය ආරම්භ කළහ.

පාත්තරයක් අතැතිව ගෙයින් ගෙට වැඩම කරන සිය බුදු පුතා ඇතුළු භික්‍ෂූන් වහන්සේ දැක සුද්ධෝදන රජතුමා මහත් කලබලයට පත් විය.

අපොයි! අපොයි! මේක මහ නින්දාවක්.

අපේ රාජ්‍ය වංශයට කරන මහා අපකීර්තියක් මෙය ඇසූ බුදුරජාණන් වහන්සේ පියාණනි, ඔබ ශාක්‍ය වංශයේ වුවත් මා බුද්ධ වංශයේ.

බුද්ධ වංශිකයන් ගෙයින් ගෙට පිණ්ඩපාතයේ වඩින එක සිරිතක්.

එයින් පසු සුදොවුන් රජතුමා බුදුන් වහන්සේ ඇතුළු භික්‍ෂු පිරිසට දානය පිරිනැමීය.

දානයෙන් පසු එම රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා කළ සේක.

එම ධර්ම දේශනාව බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් දේශනයක් ලෙස සඳහන් වී ඇත.

සුද්ධෝදන රජතුමා ධර්මය ඇසීමෙන් පසු සකෘදාගාමී මාර්ග ඵල අත්කර ගත් බව සඳහන් ය.

සත් හැවිරිදි රාහුල කුමාරයාගේ මහණ කිරීම සිදු වුයේ ද මේ මැදින් පෝ දිනය.

මේ නිසා දෙමවුපිය අවසරයෙන් තොරව ළමුන් මහණ නොකිරීමේ නීතිය ද පනවන ලද්දේ මැදින් පෝය මුල් කරගෙනය.

මේ අනුව මහා ප්‍රජාපතී ගෝතමියගේ සෝවාන් ඵලයට පත්වීම ආදි ශාක්‍ය වංශික ඥාතීන්ගේ ශාසනික අභිවෘද්ධිය ඇති කළ පෝය මැදින් පෝය නිසා එහි වැදගත්කම වැඩිවී ඇති බවද ප්‍රකාශිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now