ජාතිවාදය අවුස්සා ඡන්ද පදනම වැඩි කරගන්න හදනවාද? – රංජිත් මද්දුම බණ්ඩාරගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රශ්නයක්

Report

නිදහසින් පසු වසර 78ක කාලය තුළ ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයකදීම ජාතික ආරක්ෂාව සම්බන්ධ අභියෝගවලට මුහුණ දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

1988-89 කැරැල්ල සහ දශක තුනක යුද්ධය ඇතුළු අර්බුදකාරී අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව රටේ ජාතික ආරක්ෂාව හා සාමය තහවුරු කිරීමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම, මෙරට ඇති වූ බොහෝ අර්බුදවලට ජාතිවාදී ගැටුම් හේතු වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජාතික සමගිය ආරක්ෂා කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. වත්මන් ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සැකයක් පවතින බවත්, ජාතිවාදය අවුස්සා සිය ඡන්ද පදනම වැඩිකර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතුවන බවත් ඔහු චෝදනා කළේය.

එමෙන්ම, 1988-89 කාලසීමාවේදී ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ ඉන්දියානු විරෝධී දේශපාලන ප්‍රතිපත්ති සහ එමඟින් ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ද මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

දශක තුනක යුද්ධය පැවති සමයේදී උතුරේ ත්‍රස්තවාදය මර්දනය කිරීමට හමුදාව කටයුතු කරද්දී දකුණේ ද තවත් කැරැල්ලක් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව ඔහු පැවසීය.

තවද, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවූ යුද හමුදා සාමාජිකයන්ට නිසි ගෞරවය ලබාදිය යුතු බව අවධාරණය කළ රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ පිරිස් වීරයන් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ද සිය විරෝධය පළ කළේය.

ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රට වෙනුවෙන් කැපවූ ත්‍රිවිධ හමුදාවට නිසි ගෞරවය හා සැලකිල්ල ලබාදීමට කටයුතු කරන ලෙස බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගයට කලින් තහංචි රැසක්- ප්‍රවේශපත්‍ර ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්නැයි දැනුම්දෙයි

සාමාන්‍ය පෙළ විභාගයට කලින් තහංචි රැසක්- ප්‍රවේශපත්‍ර ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්නැයි දැනුම්දෙයි