සාමාන්‍ය පෙළ විභාගයට කලින් තහංචි රැසක්- ප්‍රවේශපත්‍ර ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්නැයි දැනුම්දෙයි

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2026 වර්ෂය සඳහා දෙසැම්බර් මස 08 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව, විභාග අපේක්ෂකයන් සඳහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර ඇති අතර, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් තැපැල් කර යවා තිබේ.

යම් අපේක්ෂකයෙකුට මෙතෙක් ප්‍රවේශ පත්‍රය ලැබී නොමැති නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එය බාගත කරගත හැකි බව දැනුම් දෙයි.

ප්‍රවේශ පත්‍රය ලැබුණු සියලුම අපේක්ෂකයන් එහි සඳහන් තොරතුරු ඉතා සැලකිල්ලෙන් පරීක්ෂා කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

විශේෂයෙන්ම උප්පැන්න සහතිකයේ සඳහන් ආකාරයට සම්පූර්ණ නම ඉංග්‍රීසි භාෂාවෙන් නිවැරදිව සඳහන් වී තිබේද, අයදුම් කළ සියලුම විෂයන් ඇතුළත් වී තිබේද, විභාගයට පෙනී සිටින මාධ්‍යය, උපන් දිනය, ස්ත්‍රී පුරුෂ භාවය සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ලිපිනය නිවැරදිව සඳහන් වී තිබේද යන්න පරීක්ෂා කළ යුතුය.

එම තොරතුරුවල යම් සංශෝධනයක් අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ. පාසල් අයදුම්කරුවන්ට අදාළ සංශෝධන විදුහල්පතිවරයා මාර්ගයෙන් සිදු කරගත හැකි අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට විභාගයට අයදුම් කිරීමේදී භාවිත කළ ජාතික හැඳුනුම්පත් අංකය යොදාගෙන විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වේදිකාව හරහා සංශෝධන සිදු කළ හැකිය.

කෙසේ වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් අංකය සංශෝධනය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතුය. එමෙන්ම පාසල් අයදුම්කරුවෙකුගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය යන දෙකම සංශෝධනය කිරීමට අවශ්‍ය නම් පළමුව මාර්ගගත ක්‍රමය ඔස්සේ නාම සංශෝධනය සිදු කළ යුතුය.

නතුරුව නව ජාතික හැඳුනුම්පත් අංකයට අදාළ තොරතුරු විදුහල්පතිවරයා මාර්ගයෙන් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය. මෙම සංශෝධන දෙකම එකවර සිදු කළ නොහැකි බව ද අවධාරණය කර තිබේ. සියලුම සංශෝධන සිදු කිරීම සඳහා ලබා දී ඇති කාලය නොවැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වේ.

එබැවින් ප්‍රවේශ පත්‍රවල සඳහන් තොරතුරු පරීක්ෂා කර අවශ්‍ය සංශෝධන එම කාලසීමාවට පෙර සිදු කරගන්නා ලෙස සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි

පාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

පාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

 උපකාරක පන්ති සහ විභාග ප්‍රචාරණ කටයුතුවලට තහනමක්

මේ අතර, 2026 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම, පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම දෙසැම්බර් මස 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වනතුරු තහනම් කර තිබේ.

එමෙන්ම විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම, එවැනි ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට ප්‍රචාරය කිරීම සහ ඒ සඳහා බැනර්, පෝස්ටර්, අත්පත්‍රිකා හෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය භාවිතයෙන් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම ද තහනම් වේ.

මෙම නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් විභාග පනත යටතේ වරදක් සිදු කරන බවත්, ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවත් දැනුම් දී තිබේ.

ඒ සඳහා පහත දුරකථන අංක ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

පොලිස් මූලස්ථානය: 011 242 1111 පොලිස් හදිසි ඇමතුම් අංකය: 119 විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය: 1911 පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව: 011 278 4281 / 011 278 4537 විශේෂයෙන්ම නාම සංශෝධන සම්බන්ධයෙන් අපේක්ෂකයන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කර තිබේ.

මෙම අවස්ථාවෙන් පසුව නම් සංශෝධනය කිරීමට අවස්ථාවක් ලබා නොදෙන බැවින්, අවශ්‍ය සියලුම සංශෝධන නොවැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට පෙර නිවැරදිව සිදු කරගන්නා ලෙස ඉල්ලා සිටියි.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

අද මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් විභාග කොමසාරිස් ඒ කේ එස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කළේ මෙවන් අදහසක්