ව්‍යාපාර සිහින සැබෑ කරන පහසු ණය වැඩසටහනක් - රු. කෝටි 9,560ක අඩු පොලී ණය!

Report

බිඳ වැටුණු සහ නැවත ගොඩනැගීමට වෙර දරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු රටේ නව ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ අරමුණින්, 2026 අයවැය යටතේ රජය විසින් වෙන් කර ඇති රුපියල් බිලියන 95.6ක (කෝටි 9,560ක) දැවැන්ත අඩු පොලී ණය පහසුකම් සඳහා ඉල්ලුම් පත්‍ර මේ වන විට ලැබෙමින් පවතින බව කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මෙම මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ව්‍යවසායකයන්ට ලබාදීමේදී ප්‍රධාන වාසි තුනක් හිමි වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒවා මෙසේය:

  • රජය විසින් ව්‍යවසායකයන් වෙනුවෙන් 2/3ක (67%) ඇපකාරත්වයක් ලබාදීම.
  • බොහෝ ණය සඳහා අඩු පොලී අනුපාත අය කිරීම.
  • විශේෂයෙන් ගංවතුර හා සුළි කුණාටු (දිට්වා සුළි කුණාටුව ඇතුළුව) හේතුවෙන් හානි වූ ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා 3%ක ඉතා අඩු පොලී අනුපාතය යටතේ ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීම.

එසේම, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලැබෙන ණය පහසුකම් යොදාගනිමින් මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු පොලී අනුපාත යටතේ රුපියල් ලක්ෂ 750ක් දක්වා සහ රුපියල් ලක්ෂ 500ක් දක්වා උපරිම ණය යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක වන අතර, මේවා මේ වසරේ ජුනි මාසයේදී පටන් ගැනීමට නියමිත බව ද ඔහු කීය.

ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඇප සැපයීම බවත්, බොහෝ දෙනෙකුගේ ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලෙස ලේඛනගත වී ඇති බවත් සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම පිරිස්වලට ද ණය පහසුකම් ලබාගැනීමට හැකි වන පරිදි රජය මූල්‍ය ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.