රටේම ගෑස් ප්‍රශ්නේ කරට ගත්ත ලිට්‍රෝ ගෑස්වලටත් දැඩි අර්බුදයක් - ලිට්‍රෝ සමාගමට මාසෙකට රුපියල් කෝටි 80ක පාඩුවක්
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියද මෙරට පාරිභෝගික ජනතාව මත බරක් නොපටවා සහනදායී මිලකට ගෘහස්ථ එල්.පී. ගෑස් සැපයීම සඳහා රජය සතු ලිට්‍රෝ ගෑස් සමාගම මසකට රුපියල් මිලියන 800ක (රුපියල් කෝටි 80ක) පාඩුවක් දරමින් සිටින බව සඳහන් කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ ලිට්‍රෝ සමාගම මඟින් සෑම මසකදීම කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලියන දෙකකට (ලක්ෂ 20කට) අධික ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරන බවයි.
ඉකුත් ඔක්තෝබර් මස අවසානය වන විට ලිට්‍රෝ සමාගම රුපියල් මිලියන 5,900ක (රුපියල් බිලියන 5.9ක) සමුච්චිත ලාභයක් උපයා තිබූ බව අනාවරණය කළ අමාත්‍යවරයා, ගෑස් මිල ඉහළ නොදමා සමාගම ලබන එම මාසික පාඩුව එම උපයාගත් ලාභයෙන් පියවා ගනිමින් ජනතාවට ඍජුවම සහන සැලසීමට රජය පියවර ගෙන ඇති බව ද අවධාරණය කර ඇත.
එසේම පෞද්ගලික අංශයේ 'ලාෆ්ස්' සමාගම නිසි ලෙස ගෑස් බෙදාහැරීම සිදු නොකිරීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ඇතිවූ සැපයුම් හිඟයට විසඳුමක් වශයෙන් ලිට්‍රෝ සමාගම තම ආනයන ධාරිතාව විශාල ලෙස ඉහළ නංවා ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එබැවින් මෙම මාසය තුළදී ගෑස් මෙට්‍රික් ටොන් 41,000ක් ආනයනය කර තිබෙන අතර, ලබන මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට නියමිත බව ද සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඉකුත් කාලසීමාවේ වෙළෙඳපොළේ ගෑස් හිඟයක් මවාපාමින් ලාෆ්ස් සමාගම අසාධාරණ ආකාරයට මිල ඉහළ දැමූ බව ද විවේචනය කළ වසන්ත සමරසිංහ මහතා, රජය සිදුකළ ඍජු මැදිහත්වීම් සහ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ලාෆ්ස් ගෑස් මිල රුපියල් 745කින් අඩු කිරීමට එම සමාගම එකඟ වූ බවද සභාව හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.