නිතර කෝල් මැසේජ් දාලා හිංසා කළොත් වෙන අයගේ අංක අකැමැත්තෙන් ප්‍රසිද්ධ කළොත් වැඩ වරදියි - මේ නීතිය ගැන දැනගන්න
ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ ශ්‍රී ලංකා පොලිසිය විසින් ශක්තිමත් කරන ලද විධිවිධාන මඟින් වින්දිතයින්ට නැවත නැවතත් හිරිහැර කරන ඇමතුම්, පණිවිඩ සහ දුරකථන අංක අනවසරයෙන් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ සකසන බව දැනුම් දෙයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ඩිලාන් කුමාර මහතා පැහැදිලි කර ඇත්තේ, 2024 අංක 39 දරන පනතින් සංශෝධිත 1992 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 32 වන වගන්තිය යටතේ, සාධාරණ හේතුවක් නොමැතිව, කරදරයක් හෝ හිරිහැරයක් ඇති කිරීමේ අරමුණින් අඛණ්ඩව ඇමතුම් ලබා දෙන හෝ පණිවිඩ යවන ඕනෑම පුද්ගලයෙකු හෝ කැමැත්තෙන් තොරව වෙනත් ග්‍රාහකයින්ගේ අංක ප්‍රකාශයට පත් කරන්නේ නම්, ඔහු වරදක් සිදු කරන බවයි.
එබැවින් වරදකරුවන්ට රුපියල් 100,000 දක්වා දඩ මුදල් නියම කළ හැකි බවත්, ගෙවීම පැහැර හරින්නේ නම් මාස හයකට නොවැඩි කාලයකට සිර දඬුවම් නියම කළ හැකි බවත් ඔහු පවසයි.
තවද එවැනි ඇමතුම් ලබා ගන්නා දුරකථන සම්බන්ධතාවය විසන්ධි කිරීමට නීතියෙන් බලධාරීන්ට බලය ඇති බව ද පොලිස් පරීක්ෂක කුමාර මහතා අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම පොලිස් පරීක්ෂක කුමාර මහතාට අනුව, මෙම විධිවිධාන අඛණ්ඩ ඇමතුම් සහ පණිවිඩ සඳහා පමණක් නොව, සමාජ මාධ්‍යවල හෝ වෙනත් වේදිකාවල අවසරයකින් තොරව පුද්ගලයන්ගේ අංක බෙදා ගන්නා අවස්ථා වෙනුවෙන් ද අදාළ වේ.
එවැනි හිරිහැරවලට ගොදුරු වූවන්ට සංශෝධිත පනත යටතේ නීතිමය සහන ලබා ගත හැකි බව ඔහු අවධාරණය කර ඇත.