ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - ප්‍රදේශ රැසකට වැසි, ඇතැම් තැනකට තද සුළං

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 01 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් කර තිබේ.

ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ වේගයකින් තරමක් තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද සඳහන් වේ. ඒ අනුව, හෙට (02) දහවල් 12.10ට ආණමඩුව, මොරගොල්ලාගම, දඹුල්ල, මනම්පිටිය සහ වාලච්චේන යන ප්‍රදේශවලට සූර්යයා මුදුන්ව පවතිනු ඇත.

Gallery