රට රැකපු විදේශ ශ්‍රමිකයන්ට වෙනස්ම සැලකීමක් - සිනමන් ලේක්සයිඩ් එකේදී ඇරඹුණු දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යය මෙන්න
ජාත්‍යන්තර ගෘහ සේවකයන්ගේ දිනය නිමිත්තෙන් විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු සඳහා පැමිණිලි කළමනාකරණ ජංගම දුරකථන යෙදවුමක් ලෙස ‘LankaKonect’ නිල වශයෙන් දියත් කර තිබේ.
කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවති මෙම අවස්ථාවට එක්වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, මෙය පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් කරා යන ගමනේ “දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක්” සනිටුහන් කරන පියවරක් බවයි.
රටේ ආර්ථිකය දුෂ්කර අවස්ථාවලදී විදේශගත ශ්‍රී ලාංකිකයන් ලබාදුන් දායකත්වය සිහිපත් කළ අමාත්‍යවරයා, ඔවුන්ගේ ගැටලු විසඳීමට මෙතෙක් ක්‍රමවත් යාන්ත්‍රණයක් නොතිබූ බවද සඳහන් කළේය.

නව ‘LankaKonect’ යෙදවුම හරහා විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණිලි ඩිජිටල් ලෙස ඉදිරිපත් කිරීමත්, ඒවාට අදාළ ආයතන ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පසුවිපරම් (tracking) කිරීමත් හැකි බව විශේෂත්වයකි. එමඟින් තානාපති කාර්යාල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අමාත්‍යාංශය අතර සෘජු සම්බන්ධතාවක් ඇති වන අතර, විනිවිදභාවය හා වගවීම ඉහළ නංවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙහිදී සඳහන් කළේ, “සෑම ප්‍රේෂණයක් පිටුපසම දුක්ඛිත කතාවක් ඇත” යන්න තේරුම් ගනිමින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය ඉහළ නැංවීම රජයේ අරමුණ බවයි.
මෙම පද්ධතියට ලිඛිත පැමිණිලි මෙන්ම හඬ පට, ඡායාරූප සහ වීඩියෝ ද ඇතුළත් කරමින් ඉදිරිපත් කළ හැකි අතර, එය විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවනු ඇත.
මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT Mobitel) තාක්ෂණික දායකත්වය සපයන අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මූල්‍ය හා ක්‍රියාකාරී සහාය ලබාදෙයි.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, තානාපති නිලධාරීන්, ICTA ආයතනයේ නිලධාරීන් සහ සංචාරක හා විදේශ සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් එක්ව සිටියහ.