තවත් පෝලිම්වල රස්තියාදු වෙන්න ඕනේ නෑ - කටුනායක ගුවන් මගීන්ට ලැබෙන ලෝක මට්ටමේ සැප පහසුකම් මෙන්න

Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු මගී පර්යන්ත පහසුකම් පුළුල් කිරීම, නවීකරණය කිරීම සහ මෙහෙයුම් ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා විශාල සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

වර්ධනය වන ගුවන් මගී සංඛ්‍යාව, උච්ච අවස්ථාවලදී ඇතිවන තදබදය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පහසුකම් සැපයීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ව්‍යාපෘතිය අවසන් වූ පසු, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව මගීන් මිලියන 5කින් පමණ ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ පිටත්වීමේ සහ පැමිණීමේ ප්‍රදේශ පුළුල් කිරීම, Check-in පහසුකම් වැඩිදියුණු කිරීම, ආගමන හා විගමන පරීක්ෂණ පහසුකම් සංවර්ධනය කිරීම සහ මගී අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා පියවර ගැනීමට නියමිතය.

ඒ අනුව පිටත්වීමේ මගී ශාලාව වර්ග මීටර් 1,700ක පමණ නව ඉඩකඩක් එක් කරමින් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් බිලියන 6.7ක පමණ ආයෝජනයක් සිදු කිරීමට නියමිතය. එමෙන්ම පැමිණීමේ ආගමන හා විගමන ප්‍රදේශය නවීකරණය කර, ආගමන කවුන්ටර් සංඛ්‍යාව 28 සිට 40 දක්වා වැඩි කිරීමටත්, e-Gates 4ක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබේ.

පිටත්වීමේ පර්යන්ත ධාරිතාව වැඩි කිරීම සඳහා නව Check-in කවුන්ටර් 36ක් සහ Remote Boarding Gates 6ක් ස්ථාපිත කිරීමට නියමිත අතර, පවතින Check-in කවුන්ටර් සංඛ්‍යාව 60 සිට 74 දක්වා ඉහළ නැංවීමටද පියවර ගනු ඇත.

පැමිණීමේ ශාලාව ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය කිරීම සහ පර්යන්ත අභ්‍යන්තර අවකාශය ප්‍රතිසංවිධානය කිරීමද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසන්නේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී හැසිරවීමේ ධාරිතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකි වන බවයි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අදියර කිහිපයක් 2026 සහ 2027 වසරවලදී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.