අධිවේගී මාර්ගයේ පැය 12ක් දුන්න විශේෂ අවස්ථාව..අද 12.00න් අවසන්වේ.

Sri Lanka Mahinda Rajapakshe Gotabaya Rajapakshe Jonstan Fernando Kurunaga highway
By Aruna Jan 16, 2022 02:48 AM GMT
Aruna

Aruna

Report

කොළඹ සිට නුවර දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (15) විවෘත වූ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ගාස්තු අයකිරීමකින් තොරව ගමන් කිරීමට ජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා.

මෙය ඊයේ (15) රාත්‍රී 12 සිට අද (16) දහවල් 12 දක්වා ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් මෙම අවස්ථාව හිමිවන්නේ අධිවේගී මාර්ග වල ගමන් කිරීමට අනුමැතිය ලත් වාහන සඳහා පමණයි.

මේ අතර කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.

කිලෝමීටර් 40.91කින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන “ඇතුගල්පුර පිවිසුම” මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු 05කින් සමන්විත යි.

මෙහි ඉදිකිරීම් සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 149කි.

සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කර තිබෙනවා.

කොළඹ, නුවර අධිවේගී මාර්ගය අදියර තුනක් යටතේ සංවර්ධනය කෙරේ.

පළමු අදියර කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37.9කින් සහ තුන්වන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5කින් සමන්විත ය.

කොළඹ සිට ගලගෙදර දක්වා වූ සමස්ත මාර්ගයේ ඉදිකිරීම් 2024දී අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි.

ගංවතුරින් වන හානිය මඟ හරවා ගැනීමට මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසින් කිලෝමීටර් 10කට ආසන්න ප්‍රමාණයක් (25%) කණු මතින් ඉදි කර තිබේ.

රථවාහන ධාවනයේදී ඇතිවන ශබ්දය පාලනයට ද බාධක යොදා තිබීම විශේෂත්වයක්. වර්තමානයේ ලෝකය, සමාජය, ඉතා වේගවත් ය.

එබැවින් කාලයෙන් ප්‍රයෝජන ගැනීමට දියුණු ප්‍රවාහන පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්වල දියුණුවේ ප්‍රධාන සාධකයක් බවට විධිමත් ප්‍රවාහන පද්ධතිය පත් ව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා.

අධිවේගී මාර්ග තරම් විවේචනයට ලක් වූ ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති.

විවේචනය කරමින් අධිවේගී මාර්ගයේ ගමන් කරන අයගේ විවේචනයන්ට වචනවලින් පිළිතුරු දීමට වඩා අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන් පිළිතුරු දීම යැයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.

මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් පැවති පාපැදි ධාවන තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම ජනාධිපතිතුමාගේ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරුණා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now