මියගිය කපිල චන්ද්‍රසේනගේ දේහය පෞද්ගලික මල් ශාලාවකට රැගෙන යයි
මේ වන විට කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් පිරිසක් අද දින දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වූහ.
කොල්ලුපිටිය, පේද්‍රිස් පෙදෙසේ පිහිටි නිවසකදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමුවූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන අවසන් නිගමනය රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව නිකුත් කිරීමට අධිකරණ වෛද්‍ය කමිටුව තීරණය කර තිබේ.
කපිල් හොද හිතවතෙක් වගේම රටට සේවයක් කරපු පුද්ගලයෙක් - මියගිය කපිල චන්ද්‍රසේන ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්
ඒ අනුව මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා අවශ්‍ය සිරුරු කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් මගින් ඊයේ දින පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.
එහිදී මරණයට හේතුව විවෘත නිගමනයක් ලෙස තබා ඇති අතර, විෂවේද වාර්තා (Toxicology reports) සහ අනෙකුත් රසායනාගාර සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අවසන් අධිකරණ වෛද්‍ය වාර්තාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.