ඊශ්‍රායලයෙන් ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක් - 39දෙනෙකු මරුට
ඊශ්‍රායලය එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාර හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ ලෙබනනයේ පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලෙබනනයේ දකුණු දිග සක්සකියේ (Saksakiyeh) නගරයට එල්ල වූ ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළු හත් දෙනෙකු මියගොස් ඇති අතර, යතුරුපැදියක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් සිරියානු ජාතිකයෙකු සහ ඔහුගේ දියණිය ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැදිහත්වීමෙන් පසුගිය අප්‍රේල් 16 වනදා ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබියදීය.
කෙසේ වෙතත්, එම ගිවිසුම අභිබවා යමින් ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් තවදුරටත් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර දියත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ද දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කරමින් යුධමය ක්‍රියාමාර්ගවල නිරත වීම හේතුවෙන් කලාපීය සාමය තවදුරටත් අස්ථාවර වී තිබේ.
සිවිල් වැසියන් විශාල වශයෙන් මියයාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සිය කණගාටුව පළ කර ඇති අතර, ගිවිසුමේ කොන්දේසිවලට ගරු කරමින් ප්‍රචණ්ඩත්වය වහාම නතර කරන ලෙස ලෝක නායකයන් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියි.